CMU ලොක්කා සේවයෙන් පහ කිරීමට එරෙහිව වෘත්තීය සමිති විරෝධය

සියවසකට අධික කාලයක සිට මෙරටට පොහොර සහ අනෙකුත් කෘෂි රසායනික ආනයනයේ නිරත ඒ. බවර් සමාගමට ආණ්ඩුව විසින් කිසිදු සහනයක් ලබා නොදෙන පවසා එහි කම්කරුවන් බලෙන් විශ්‍රාම ගැන්වීමට එරෙහිවූ මෙරට කීර්තිමත්  වෘත්තීය සමිති නායකයකු වූ බාලා තම්පෝ දිවි සැරිය පුරා නායකත්වය දුන්  ලංකා වෙළඳ කර්මාන්ත හා පොදු සේවක සංගමයේ (CMU) වත්මන් සභාපති සේවයෙන් දොට්ට දැමීමට එරෙහිව වෘත්තීය සමිති විරෝධය දක්වති.

කොරෝනා ආසාදනයෙන් ආතුර වන රෝගීන්ගේ දිවි ගලවාගැනීම සඳහා අත්‍යාවශ්‍ය සේ සැලකෙන ලක්ෂ ගණනක් අයකර විකුණන ටොසිලිසුමාබ් එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්නන්නේද ස්විට්සර්ලන්තයේ මුලස්ථානය පිහිටි බවර් සමාගමයි.

“ඔක්කොම සේවකයෝ කැඳවලා කිව්වා පොහොර ප්‍රශ්නයත් එක්ක ආණ්ඩුව අපිට කිසිම සහනයක් දෙන්නේ නැහැ. ඒ හින්දා සේවක සංඛ්‍යාව අඩු කරන්න ඕනෑ, වන්දියක් දෙනවා ඒක අරන් කැමැත්තෙන් අයින් වෙන්න කියලා. මේ ගැන මගේ වෘත්තීය සමිතිය එක්ක කතා කරන්න ඕනෑ කියලා මම කිව්වා. ඒ එක්කම මාව සේවයෙන් අයින් කරලා ලියුම දුන්නා,”යැයි  වසර 28 ක් පුරා බවර් සමාගමේ සේවය කළ ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවක සංගමයේ  [සී.එම්.යූ.]  සභාපති, මෙන්ම බවර් සමාගම් ශාඛාවේ ද සභාපති වන මංගල අබේවික්‍රම පවසයි.

මෙසේ අත්තනෝමතික ලෙස සේවය අවසන් කිරීම ගැන වෘත්තීය සමිති නායක අබේවික්‍රම විසින් කම්කරු උසාවියට දැනුම් දීමත් සමඟ ඒ පිලිබඳ විභාගයක් ජනවාරි 5 වැනිදා කැඳවීමට නියමිතය.

“වසර 60 ක කාලයක් අපිත් එක්ක සාමුහික ගිවිසුමෙන් මෑතකදී ඒකපාර්ශ්විකව අයින් වෙලා ඉන්න බවර් පාලකයෝ කම්කරුවන්ගේ පඩි වැඩි කිරීමක් කරන්න කියලා ඉල්ලුහම ඒක කරන්නේ නැතුව පසුගිය කාලේම වෘත්තීය සමිති විරෝධී වැඩ පිළිවෙලක් ගෙනිච්චේ. මේ එකේ එක පියවරක්”යැයි සී.එම්.යූ  නියෝජ්‍ය ලේකම් සෙල්ලයියා පලනිනාදන් පෙන්වා දෙයි.

කොරෝනා වසංගතය හේතුවෙන් වූ  ආර්ථික බිඳ වැටීම නිසා සේවකයන්ගේ වැටුප් ඉහල දැමිය නොහැකි බව බවර් සමාගම ප්‍රකාශ කොට තිබේ.

සේවයෙන් ඉවත් කොට සිටින වෘත්තීය සමිති නායකයා අස්කිරීමේ ලිපිය ඉවත් කරගෙන යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා කම්කරු උද්ඝෝෂණයක් දෙසැම්බර් 22 වැනිදා කොළඹ කොටුව  පිහිටි  බවර් සමාගම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

ලංකා වෙළඳ,කර්මාන්ත හා පොදු සේවක සංගමයට අයත් සියළුම ශාඛාවන්ට අයත් කම්කරුවන්  කොල්ලුපිටිය පිහිටි එම සංගම් මුලස්ථානයේ සිට අධි ආරක්‍ෂිත කලාපයක පිහිටි  බවර් සමාගම දක්වා විරෝධතා පෙළපාලියේ ගමන් කළේය.

“බවර් සමාගමේ මේ අසාධාරණ කම්කරු පිළිවෙතට එරෙහිව අපි ලිව්වා ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතිවලට, කම්කරු ඇමැතිවරයාට, කම්කරු කොමසාරිස්ට සහ සේව්‍ය සම්මේලනයට, කම්කරු ඇමැතිත් පිළිගත්තා අස් කිරීම අසාධාරණයි කියලා,”යැයි සී.එම්.යු.නියෝජ්‍ය ලේකම් පලනිනාදන් පවසයි.

ජනවාරි 5 වැනිදා කම්කරු උසාවියේ තීන්දුවෙන් පසුව අත්තනෝමතිකව සේවයෙන් ඉවත් කිරීම හා අසාධාරණ කම්කරු පිළිවෙතට එරෙහිව බවර් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

Trade unions protest against removal of CMU chairman

Trade unions protest against removal of CMU chairman

Trade unions protest against removal of CMU chairman

Social Sharing
නවතම