“විසඳුමක් ලැබෙනතුරු සටන් වදිනවා” සම්බන්ධන්

දෙමළ ජනයාගේ ගැටළුවලට තිරසාර විසදුමක් ලැබෙන තෙක් අරගල කරනවා විනා දේශපාලනයෙන් විශ්‍රාම නොයන බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා තිබේ.

“දෙමළ ජනයාට සාමය හා නිදහස් ලැබෙන තුරු මම දේශපාලනයෙන් අයින් වෙන්නේ නැහැ. චෙල්වනායගම් මට දේශපාලනයට එන්න කියලා ඇරයුම් කරපු තුන් වතාවම මම බැහැ කිව්වා. ඊට පස්සේ මගේ සමීපතමයන්ගේ බලකිරීම නිසයි දේශපාලනයට ආවේ, දේශපාලනයෙන් ලැබෙන වරප්‍රසාද භුක්ති විදින්න බලාගෙන මගේ දේශපාලන ගමන ආරම්භ  කළේ නැහැ,”යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මාධ්‍යයට පවසා තිබුනේ ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවට සමාජ මාධ්‍ය මගින් පැතිර ගිය දුරු මත නිවැරදි කරමින්ය.

දශක හතරකට වඩා වැඩි කලක් දෙමළ ජනයාගේ ගැටලුවලට ස්ථිර සාර විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් බලයට පැමිණි සෑම ආණ්ඩුවක් සමගම සටන් කළ රාජවරෝධයම්  සම්බන්ධන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස සැලකේ.

දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ ඉන්දීය සංචාරය කල් දැමීම ගැන ද මෙහිදී සම්බන්ධන් කරුණු ඉදිරිපත් කර තිබේ.

“සුදුසු නැති වෙලාවක තමයි අපිට ඉන්දියාවෙන් ඇරයුම ලැබුනේ. ඒ නිසා ඒ ගමන යන්න බැරි වුණා. අනිත් එක සන්ධානයේ ඇතැම් නායකයන්ට ද ඊට සහභාගි වෙන්න ඉඩ ප්‍රස්තාවක් තිබුනේ නැහැ. ඉන්දියන් නායකයන් එක්ක අපි දිගටම සම්බන්ධතා පවත්වනවා. ඉක්මනින්ම අපිට සාකච්ජාවට ඇරයුම් කරාවි,”යැයි විශ්වාසය පළ කරමින් දෙමළ ජාතික සන්ධාන නායකයා පවසයි.

ඉන්දියානු රජය මගින් මෙම සාකච්ජා සඳහා දින නියම කර තිබුනේ දෙසැම්බර් 7 වැනිදාය. අයවැය විවාදය හා ජන්ද විමසීම නිසා සුමන්තිරන් මන්ත්‍රීවරයාට ඊට සහභාගිවිය නොහැකි බවත්, තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජාගේ පවුලේ කටයුත්තක් නිසා ඉන්දීය සංචාරයට එක්විය නොහැකි බව දැනුම් දී තිබිණි.

Social Sharing
නවතම