නිසි ප්‍රමිතිය නැති ගෑස් නැව් දෙකම ගොඩබායි!

තත්ත්ව පරීක්ෂණයේ දී නිසි ප්‍රමිතිය නොමැති බවට තහවුරු කළ ලිට්‍රෝ ගෑස් නැව් දෙක තුළ තිබෙන එම ප්‍රමිතිය නැති ගෑස් මේවනවිට ගොඩබාමින් ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියෙන් කළ විමසීමකදී එහි නිළධාරියෙක් අයිතිය වෙබ් අඩවිය වෙත කියා සිටියේ එම ගෑස් තොග නැව තුළදීම නිසි ප්‍රමිතයට නැවත සකස් කළ බවය. ඒ අනුව පසුව කළ පරීක්ෂා කිරීමකදී අවශ්‍ය ප්‍රමිතිය එම ගෑස් සාම්පල පෙන්නූ බවත් එනිසා එම පළමු නැවේ ගෑස් ගොඩබෑමට කටයුතු කළ බවත් ය.

මේ අනුව දෙවැනි නැවද ඒ ආකාරයේ ක්‍රියාවලියකින් පසුව පරීක්ෂා කරන බවත් එහිදී එම නැවේ තිබෙන ගෑස් නිසි ප්‍රමිතියට තිබුණහොත් එම ගෑස් නැවද ගොඩබාන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම ගෑස් නැව් දෙක මුලදී පරීක්ෂා කිරීමේ දී ගෑස් කාන්දුවකදී වහනය වන ගන්ධය නිකුත් කිරීමට අවශ්‍ය රසායනිකය නිසි ප්‍රමිතියට නොතිබුණ බව අනාවරණය විය.

මෙම ගෑස් ගොඩබෑම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ගොඩබෑම නිසා නැවතත් ජනතාවගේ ජීවිත අනතුරේ හෙළීමට රජය කටයුතු කර ඇති බවය.

Social Sharing
නවතම