විමල්, වාසු, උදය අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි?

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැරි අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිළ ඔවුන්ට අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතු බවත්, ඒ සඳහා පොදුජන පෙරමුණ තුළ හඬක් මතුව ඇති බවත්, ඒ අනුව මෙවර මෙම අමාත්‍යවරුන්ට තමන් දරණ අමාත්‍ය ධුර අහිමිවන්නට බොහෝ දුරට ඉඩ ඇති බවත්, පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු  සමාගමට විකිණීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර ඇති පෙත්සම්වලට තමන් පක්ෂපාත බව එම අමාත්‍යවරුන් දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණය දැනුවත් කර ඇති නිසා ඔවුන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැර ඇතැයි ප්‍රකාශ කරන එම ප්‍රබලයා මෙම තත්ත්වය තුළ එම අමාත්‍යවරුන් අමාත්‍ය ධුරවලින් නෙරපීම සඳහා සූදානමක් ඇතැයි ද ප්‍රකාශ කරයි.

මේ අතර ශ්‍රීලනීප ප්‍රධානියෙක් අයිතිය වෙත ප්‍රකාශ කළේ ලබන ජනවාරි මස අවසානයේ බැසිල් රාජපක්ෂ මහතා නැවත ලංකාවට පැමිණි පසු අමාත්‍යා මණ්ඩල සංශෝධනයක් සිදුවෙන්නට නියමිත බව දැනගන්නට ලැබෙන බවය. එම සංශෝධනයේදී ඉහත අමාත්‍යවරුන්ට තම අමාත්‍යාංශ අහිමිවනු ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර යුගදනවි තාප බලාගාරයට අදාළ පෙත්සම් 16දා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ද ප්‍රකාශ කර ඇත්තේ අදාළ අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැරහැර ඇති නිසා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ අමාත්‍යවරුන් වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවය. 1947 වසරේදී රජයේ අයවැය විවේචනය කළ අමාත්‍ය එම්. ඩී. එච්. ජයවර්ධන මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බව එහිදී ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති විවේචනය කළ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක සහ  ජී. එම්. ප්‍රේමචන්ද්‍ර ඇමතිවරුන් ඔවුන්ගේ ධූර වලින්ද ඉවත කළ බවට ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම