තරුණයන් 11 අතුරුදන් කළ සිදුවීමට නම ගෑවුන කරන්නාගොඩට වයඹ ආණ්ඩුකාර ධුරය

කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වුණ තරුණ පුද්ගලයන් 11ක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු ලෙස නීතිපතිවරයා විසින් නම්කර අධිචෝදනා පත්‍ර ලබාදී පසුව නීතිපතිවරයා විසින් එය ඉවත්කරගෙන සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හට රාජා කොල්ලුරේගේ මරණයෙන් හිස්වූ වයඹ ආණ්ඩුකාර ධුරය ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිරිනමා ඇත.

2008 / 2009 කාලයේ තරුණයන් එකොළොස් දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව පැවසෙන සිදුවීමට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ චෝදනා ලබා සිටි අතර පසුව වර්තමාන නීතිපතිවරයා එම අධිචෝදනා ඉවත් කරගනු ලැබිණි. තමන් නාවික හමුදාවේ මුල් පුටුව හෙබවූ සමයේ දෙහිවල ප්‍රදේශයේ දී දෙමළ ජාතික තරුණයන් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ද සම්බන්ධ වී ඇති බවට පොලිසිය 2015 වසරේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීය. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු අනාවරණය කරමින් ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලයේ ගන් සයිට් භූගත සිරමැඳිරි තුළ මොවුන් රඳවා සිට ඇති බව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැන සිට ඇති බවයි.

වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම තරුණයින්ගේ දෙමව්පියන් ගොනු කල රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පසුගිය දිනක තීරණය කළේය. හිටපු නාවික හමුදාපති ට්‍රැවිල්ස් සින්නයියා මහතාද වසන්ත කරන්නාගොඩ මෙම සිදුවීම දැන සිට ඇති බවට වූ තොරතුරු සහතික කරමින් ප්‍රකාශයක් ලබා දී ඇත. මෙම පැහැර ගැනීම සිදුවුණ අවධියේ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා යවනු ලැබූ ලිපියකින්ද මේ දැන සිටීම සනාථ වී ඇත.

Social Sharing
නවතම