අපි හැවෝටම පුලුවන් එළියට එන්න..

LGBTQ ප්‍රජාව ගැන මට තියෙන ආකල්පය හැමදාම එකම තැන තිබුණු එකක් නෙමෙයි. සාම්ප්‍රදායික කතෝලික පසුබිමකින් එන කෙනෙක් නිසා, ආගමික ඉගැන්වීම් ඇතුළෙන් ලෝකය දිහා බලන්න පටන් ගත්තු ජීවිතයක් තමයි මගේ ආරම්භක අවදීන් සලකුණු කරන්නෙ. අදටත් සම්පූර්ණයෙන්ම ඉන් බැහැර වෙලා කියලා ලියන්න මට බැහැ. කොහොම වුණත් ඒ නිසාම විෂමලිංගික නැමියාවන් සහිත අය ‘හරි’ ට්‍රැක් එකේ ඉන්න කණ්ඩායම බවත්, අනිත් හැමෝම ‘මොකක් හෝ අවුලක් සහිත’ අය බවත් හිතාගෙන ගෙවපු නවයොවුන් වියක් තමයි මට තියෙන්නෙ.

ලෝකයට නිරාවරණය වීම ඇරඹුනත් එක්කම, ඉතාම සියුම්ව මගේ ඇතුළෙ දළුලමින් තිබුණු ඒ මතවාදයන් හෙලවෙන්න පටන් ගත්තා. බොහෝම වාද විවාද, මිතුරුකම් අත හැරීම්, මගේ ක්‍රිස්තියානිභාවය ප්‍රශ්න කිරීම්වලට ලක්වීම් වගේ කාලවලින් පස්සෙ LGBTQ ප්‍රජාවට ගෞරවණීයව සැලකීම සහ සංවේදී වීම ( අනුකම්පා කිරීම නෙමෙයි) වගේ තැනකට එන්න මට පුළුවන් වුණා. ඒක තමයි යා හැකි උපරිම සහ යා යුතු උපරිම තැන කියලා මම හිතුවා. මට සතුටක් තිබුණා. මගේ සහෝදරයා එක්ක සම්බන්ධතා සහ ඒවට අදාළ අනෙකුත් කාරණා ගැන කතා කරද්දි ගැහැණු- පිරිමි සම්බන්ධතා ගැන විතරක් කතා නොකර ප්‍රේම සම්බන්ධතා සම ලිංගිකයන් අතරත් ඇති විය හැකි සාමාන්‍ය දෙයක් කියලා දෙන්න තරම් මම වැඩුණු එක ගැන මට සතුටක් සහ (හීන්) ආඩම්බරේකුත් තිබ්බා.

දැනට අවුරුදු දෙකකට විතර කළින් මට තේරුණා මට මේ ගමනෙ තවත් දුර යන්න පුළුවන් බව. ඒ කොටස නොයා මේ ගමන ගැන කතා කරන එක නිශ්ඵල බව. ඒක මට තේරුණේ මම නරඹන චිත්‍රපටිවල සමලිංගික යුවළක් හිටියොත් මට විෂම ලිංගික යුවළක් දිහා බලන සැහැල්ලුවෙන්ම ඒ දෙන්නා දිහා බලන්න ටිකක් අපහසු ගතියක් දැනෙන බව තේරුණාට පස්සෙයි. ඒ අපහසුවෙ මුල් ( roots) හොයාගෙන යද්දි මට තේරුණා, මගේ ලෝකයේ හැමවෙලාවකම කතාවෙ climax එක අයිති වෙන්නෙ විෂම ලිංගික යුවලකට විතරමයි කියලා. සමලිංගික යුවල් හැමදාම සහය නළු/නිළි චරිතවලින් නතර වෙන එකත් එක්ක මම සමාදානෙට ඇවිත් කියලා මට තේරුණා.

ගිය අවුරුද්දෙ ලංකාවෙන් පිටත් වෙලා යද්දි මම තීරණය කලා, මගේ ඇස් සහ හදවත තව ටිකක් විවෘත කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. දූපතෙන් එළියට යෑම ඒකට ලොකු උදව්වක් වුණා. ලිංගික අනන්‍යතාවයන් සහ දිශානතියන් ගැන සීමා ඉරි බොඳ කරලා කතා කරන, හැසිරෙන සමාජයක් මට මුණගැහුණා. ඒ අතරෙ මම පොඩි අභ්‍යාසයක් කරා. යාළුවො කිහිපදෙනෙක් එක්කත් මම මේ අභ්‍යාසය ගැන කතා කරා. ඒ තමයි LGBTQ චරිත සහය නළු නිළියන්ට නෙමෙයි, ප්‍රධාන චරිත විදිහට නිර්මාණය වුණු චිත්‍රපටි සහ TV Series නරඹන එක. මුලින්ම බැලුවෙ ස්පැනිශ් TV series එකක්.

කලාවට පුළුවන් මිනිස්සුන්ව අළුත් කරන්න. කඩන්න, බිඳින්න, ගොඩනගන්න. මම ඉඩ දුන්නා කලාවට, ලෝක සිනමාවට මගේ ඇතුළෙ ඉන්න පණ්ඩිත Activistව මට්ටු කරන්න. ඒ වෙනුවට මම නොදැන හිටපු ඉසව්වක් දිහාවට, මෘදුභාවයේ සහ ආලෝකයේ කතාන්දරයක් දිහාවට මාව අරන් යන්න.

මේ ඔක්කොම ටික ලිව්වෙ, දැන් ඊළඟට කියන්න යන ෆිල්ම් එක ගැන ඔබට කියන්නයි. හැම දෙසැම්බරයකම මමත්, මගේ මල්ලිත් Harry Potter චිත්‍රපටි මාලාව නරඹනවා. ඒක අපේ සම්ප්‍රදායක්. බොහෝ වෙලාවට අම්මා සහ විම්මත් වාඩිවෙලා බලාගෙන ඉන්නවා ( වෙන කරන්න දෙයක් නැති නිසා සහ අපේ කරදරේ නිසා). ඒ වගේම මගේ පෞද්ගලික සම්ප්‍රදායක් තමයි, නත්තල වෙනුවෙන්ම නිර්මාණය වෙන Christmas Rom-coms සහ අනෙකුත් සියළු චිත්‍රපටි බලන එක.

Princess Switch, A Christmas Prince, The Holiday, Holidate, Dr. Seus the Grinch සහ ඕනම අටමඟලක් මම බලනවා. ඒවයේ කතාව කොච්චර බොළඳ එකක්ද, නළු නිලියො කොච්චර අවුල් ද වගේ ඒව නිතරම හිතුණත් මම ඒ ඔක්කොම බලනවා. මේ අවුරුද්දෙ Netflix එකෙන් ‘Single All The Way’ කියන චිත්‍රපටිය ගැන ඉඟිය දුන්න වෙලේ මට හිතුණා මාව test කරලා බලන්න. මට හැමදාම පුරුදු නත්තල් rom-com අවකාශයේ, ලස්සන කෙල්ලෙක් සහ කොල්ලෙක්, නත්තල් දවසෙ තමන්ගෙ ආදරේ පිළිගන්න, ඊටපස්සෙ නත්තල් පාටත් එක්කම තුරුල් වෙලා නත්තල අවසන් කරන කතාවක් වෙනුවට කොල්ලො දෙන්නෙක්ගෙ ආදර කතාවක් බලන්න මම මටම පොරොන්දු වුණා.

Single All The Way කියන්නෙ චැඩ් හොග් ලියලා,මයිකල් මේයර් අධ්‍යක්ෂනය කරපු චිත්‍රපටියක්. ඒක ඇතුළෙ විශාල කතාවක් නැහැ. තමන්ගෙ අනන්‍යතාවය පිළිගන්න අමාරු නිසා කරන අරගලයක් හෝ අසංවේදී පවුලේ මිනිස්සු නිසා ඇතිවෙන තුවාළ ගැන කතාවක් නෙමෙයි ඒක. ආදරෙන් බැඳුණු කොල්ලො දෙන්නෙක් ගැන කතාවක්. තමන්ගෙ පුතා ආදරෙන් බැඳෙනකන් බලන් ඉන්න අම්මෙක් සහ තාත්තෙක්ගෙ කතාවක්. තමන්ගෙ මාමා ආදරෙන් බැඳෙන්න ගිහින් වරද්දගන්න එක ගැන අවුලෙන් ඉන්න නවයොවුන් කෙල්ලො දෙන්නෙක් සහ පොඩි කොල්ලො දෙන්නෙකුත්, හොඳම යාළුවෙක් සහ බල්ලෙකුත් මේකේ ඉන්නවා.

නිව් හැම්(ප්)ශයර් කුඩා නගරයේ, නත්තලත් එක්ක බැඳුණු ආදර කතාවක් මේක. කුඩා නගරය පුරාම තියෙන අවන්හල් සුදුපාට හිමෙන් වටවෙලා, නත්තල් සැරසිලිවලින් හැඩවෙලා තියෙන කාලයක් ඇතුළෙ තමන් ආදරෙන් බැඳිලා ඉන්න බව තේරුම්ගන්න කොල්ලො දෙන්නෙක්ගෙ කතාවක්.

විෂම ලිංගික අනන්‍යතාවය හැර අනෙක් සියල්ල දිහා, වෙනස් ඇහැකින් බලන බහුතරයක් එක්කයි අපි තාමත් ඇවිදන් යන්නෙ. මම නියෝජනය කළෙත් ඒ බහුතරයමයි. එහෙම පරිසරයක හේමාල් එක්ක ශලිනි තාරිකාව මිසක් සාරංග දිසාසේකරව දැක්කම ” අප්පටසිරි මේ මොකද මේ” වගේ හැඟීමක් අපි සමහර අයට එන්න ඉඩක් තියෙනවා. මට එහෙම ඉඩක් තිබුණා. මේ නත්තල මම සමරන්නේ එතනින් මම එළියට ආවා කියන සතුට එක්කයි.

ෆිල්ම් එක අවසානයේ පෙම්වතුන් දෙන්නා තමන්ගෙ ගෙදර අයට කියද්දි ඔවුන් ආදරේ කරනවා කියලා එකිනෙකාට ගෙදර අයගෙ ප්‍රතිචාරය සහ ඒ මොහොත විසින් ඇති කරන උණුසුම, ප්‍රධාන නළුවො දෙන්නගෙ chemistry එක, මහා විශාල සතුටක් මගේ හදවතේ ඇති කරා. මට ඇඬුණා.

අන්න ඒ විදිහට මේ ආසියානු කතෝලික ගෑණු ළමයට අළුත් නත්තලක් උදා වුණා! එයා තව එක පියවරක් ඉස්සරහට තිබ්බා

සුබ දෙසැම්බරයක්..!

Movie Name: Single All The Way

Netflix

ෂෙනූ පෙරේරා

Social Sharing
නවතම විශේෂාංග