විදෙස් සංචිත දියව යෑමට හේතුව කොවිඩ් නෙවෙයි!

මෙරට විදෙස් සංචිත හිඟය හුදු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිදු වූවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඩ් වසංගතය ගෝලීය තත්වයක්ව තිබියෙදීත් පොදුවේ ලෝකය තුළත් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල්වලත් විදෙස් සංචිත ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ ඉහළ ගොස් තිබෙනවා. 2020 වසරේ දෙවන කාර්තුව හා 2021 වසරේ දෙවන කාර්තුව සලකා බැලුවහොත් ලෝකයේම විදෙස් සංචිතවල වටිනාකම පිළිවෙලින් ඩොලර් බිලියන 12,016.6ක සිට ඩොලර් බිලියන 12,817.19ක් දක්වා ඉහළ නැග තිබෙනවා. දකුණු ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින පවා මේ වසංගත තත්වය තුළ තමන්ගේ විදෙස් සංචිත ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකාව වසර දෙකක කාලය තුළ තමන්ගේ විදෙස් සංචිත වේගයෙන් අහිමි කරගනිමින් සිටිනවා. නිදසුනක් ලෙස 2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදෙශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක අගයක් සටහන් කළ අතර එය මාස 4.5ක කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. එම සංචිත ක්‍රමයෙන් හීනවෙමින් පැමිණ 2021 ජනවාරි වන විට ඩොලර් බිලියන 4.8ක අගයක් සටහන් කරන ලද අතර එය මාස 3.7ක ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් අවසන් වන විට එම සංචිත අගයන් තවදුරටත් කඩා වැටී ඩොලර් බිලියන 2.3ක අගයක් සටහන් කර තිබෙනවා. එම සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 1.5ක කාලයක් වෙනුවෙන් ආනයන සිදුකිරීම සඳහා පමණයි.

මේ අගයන් සටහන් වන්නේ 2021 අගෝස්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙරටට ඩො.මි. 554.8ක විශේෂ මූල්‍ය පහසුකමක් ලැබී තිබියෙදීයි. මහ බැංකුවේ නොවැම්බර් 26 දින නිකුත් කළ සති මූල්‍ය තත්ව වාර්තාවේ විදෙස් සංචිතයන්හි එම ශීර්ෂය යටතේ ඩොලර් මිලියන 128.5ක අගයක් පමණක් සටහන් වීමෙන් එයින් වැඩි කොටසක් දැනටමත් ඩොලර්වලට පරිවර්තනය කර තිබෙනවා විය හැකියි.

2021 ජනවාරි සිට සැප්තැම්බර් කාලය අතරතුර රටේ වෙළඳ ශේෂ හිඟය ඩොලර් මිලියන 6003.2ක් ලෙස සටහන් වෙනවා. මෙය ඔක්තෝබර් – දෙසැම්බර් කාලය අතරතුර තවත් ඉහළ යා හැකියි. එසේම මෙම අවදානම් තත්වය මෑත ඉතිහාසයේ රටේ ගෙවුම් ශේෂයේ හිඟයක් නිර්මාණය කිරීමට තුඩු දිය හැකියි. 2022 වසර තුළ ශ්‍රී ලංකාව විසින් විදේශ ණය පියවීම සඳහා පමණක් ඩොලර් මිලියන 6500ක් වෙන් කළ යුතුව තිබෙනවා. යම් යම් මාසයන්හි අඩු වැඩි වීම් ඇති වන නමුදු දළ වශයෙන් එක් මාසයකට විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 550ක් වෙන් කිරීමට රටට සිදු වනවා. 2021 වසරේ ජංගම ගිණුමේ හිඟය සහ විදෙස් ණය පියවීමේ බැඳීම්ද 2022 වසරේ මුල් භාගයේ ඇති විදෙස් ණය පියවීමේ බැඳීම්ද සමගින් දැනටත් අවදානම් මට්ටමක ඇති රටේ ගෙවුම් ශේෂය මෙමගින් තවත් අර්බුදයට ඇද දැමිය හැකියි.

පසුගිය දෙවසරක කාලය තුළ විදේශ විනිමය සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියෙදී ආණ්ඩුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලා ගෙන ආකාරය පිළිබඳව සුබදායී සිතුවම් අඳිමින් සිටියත් මේ වන විට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බව සියලු දෙනාට වටහා ගැනීමට අසීරු නැහැ. එසේම මේ වන විට රටට ඩොලර් ලැබෙන ප්‍රධානම මූලාශ්‍රවලින් එකක් වන විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු සංක්‍රාම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාස 05ක කාලයක් පුරා වේගයෙන් පහළ යමින් තිබෙනවා. නිදසුනක් ලෙස 2020 ජුනි – ඔක්තෝබර් කාලයේ සමස්ත සංක්‍රාම වටිනාකම ඩොලර් මිලියන 3274ක් වූ නමුත් මේ වසරේ ජුනි – ඔක්තෝබර් කාලයේ ඔවුන්ගේ සංක්‍රාම ප්‍රමාණය ඩොලර් මිලියන 2048ක් පමණයි. එය ප්‍රතිශතාත්මකව ගතහොත් 37.5%ක් පමණ කඩා වැටීමක්. මෙම අඩුවීමේ ප්‍රවණතාව නිරීක්ෂණය කළහොත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සංක්‍රාම මගින් ලැබීමට නියමිත මුදල 50%ට වඩා අඩුවිය හැකියි.

මේ තත්වය තුළ මහ බැංකුව විසින් බලහත්කාරයෙන් බැංකුවල ඩොලර් අනුපාතිකය රුපියල් 202 ආසන්නයේ රඳවා තබාගෙන සිටියද එම මුදලට ආනයනකරුවන්ට ලබා දීමට වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් ඩොලර් නැහැ. ඩොලරයක් බැංකුවලට පිටින් එළියේ අලෙවි වන්නේ රුපියල් 240-260 අතර වටිනාකමකටයි. මෙවැනි ඉහළ වටිනාකමකට ඩොලර් මිලදී ගෙන භාණ්ඩ අනයනය කිරීමට ආනයනකරුවන් ඉදිරිපත් නොවන නිසාත්, විශේෂයෙන්ම බැංකු මගින් නිකුත් කළ ණයවර ලිපි අනුව මේ වන විටත් ආනයනය කර ඇති භාණ්ඩවලට අදාළ ඩොලර් ලබා දීමට බැංකු අසමත් වී ඇති නිසාත් බරපතළ භාණ්ඩ හිඟයක් රට තුළ නිර්මාණය වෙමින් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

දෙසැම්බර් 03 පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය / උපුටා ගැනීමකි.

Social Sharing
නවතම