බැඳුම්කරය ඉවරයි..!

බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු පිරිස නිදහස් කිරීමත් සමග මෙම නඩු පැවරීම පුස්සක් වෙන ලකුණු පහළ වී ඇතැයි දැනගන්නට ලැබේ.

මූල්‍ය පනත සහ සුරැකුම්පත් පනත ආදී පනත් ප්‍රකාරව චෝදනා 22ක් යටතේ, 2016 මාර්තු මස 31 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ දී ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවලට ඒ සඳහා ලංසු ඉදිරිපත් නොකරන්න යැයි දැනුන් දී, එම බැංකුවලට රුපියල් මිලියන 200ක අලාභයක් සිදුකළ බවට විත්තිකරුවන්ට විරුද්ධව චෝදනා 22ක් ගොනුකිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබූ අතර එම චෝදනාවලින් චෝදනා 11කින්ම අදාළ විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබුණි.

නෛතික පුද්ගලයෙක් නැතිව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම නඩුවේ විත්තිකරුවෙක් වශයෙන් නම් කිරීම හා විත්තිකරුවන්ගේ ගිණුම් හා වත්කම් අත් හිටුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මූලික විරෝධතාවයක් මතුකර තිබූ අතර නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එම මූලික විරෝධතාවයන් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මේ නිදහස් කිරීම සිදුකර ඇත. මෙම තත්ත්වය තුළ අධිකරණයේ මෙම නියෝගය පරිශීලනය කර විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රය ඉවත් කරගන්නේ ද නැතිනම් සංශෝධිත අධිචෝදනා පත්‍රයක් නැවත ඉදිරිපත් කරන්නේ ද යන්න ගැන අධිකරණයට දැනු දෙන බව අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන, මෙම තීන්දුව ලබාදුන් දිනයේදී අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්න යැයි ඒ මහතා ඉල්ලා ඇත. මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ශ්‍රවේන්ද්‍ර සිල්වා කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම තීන්දුවත් සමග මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවය.

ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුවේ පළමු චෝදනාව කුමන්ත්‍රනය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් බැවින් එම චෝදනාව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව විනිසුරු මණ්ඩලය පිළිගෙන එම චෝදනාව ඉවත්කර තිබෙන නිසා අනෙකුත් සියලු චෝදනාවන්ද මෙම චෝදනාව සමග බැඳී තිබෙන බැවින් ඒවාද පවත්වාගෙන යා නොහැකි බවය.

අමල් රනරාජා, නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳි යන විනිසුරු මණ්ඩලය හමුවේ මෙම නඩු විභාගය පසුගිය 06 වැනිදා විභාගයට ගත් අතර යළිත් මෙම නඩුව ජනවාරි 26 වෙනිදා කැඳවෙනු ඇති.

Social Sharing
නවතම