චීනය ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘති මාලදිවයිනට ගෙන යයි!

ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පාදනයට දායක වීම සඳහා චීනය කර තිබූ සැලසුම් අතහැර දමා තිබේ.

කොළඹ චීන තානාපති කාර්යාලය ඒ බව ප්‍රසිද්ධියට පත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිල්ලියේදී  ඉන්දීය  මුදල් අමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු බලවතුන් හමුවී ආර්ථික සහයෝගය පතා සිටියදීය.

යාපනය අර්ධද්වීපයට එපිටින් පිහිටි  නාගදීපය, ඩෙල්ෆ්ට් සහ අනලතිව් දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් පිහිටුවීමට පසුගිය ජනවාරි 18 දා චීන සමාගමකට කැබිනට් මණ්ඩල අනුමැතිය දී තිබුණි.

සිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලොජි සමාගමට ලබා දී තිබු එම ව්‍යාපෘතිය ‘ආරක්ෂක හේතු’ මත අත්හිටුවා මාලදිවයිනට ගෙනයන ලද බව චීනය නිවේදනය කර තිබේ.

China suspends energy projects in Sri Lanka

“ ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් 3ක  දෙමුහුන් බලශක්ති පද්ධතියක් ඉදිකිරීම තුන්වැනි පාර්ශවයක ‘ආරක්ෂක හේතු’ මත අත්හිටුවන්නට සිදුවූ සිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලොජි සමාගම මාලදිවයිනේ දූපත් 12 ක සූර්ය තාප බලාගාර පිහිටුවීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇත,” යි කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

ඉන්දීය ජනමාධ්‍ය ප්‍රකාශ කරන පරිදි චීනය සඳහන් කරන තුන්වැනි පාර්ශවය යනු ඉන්දියාවයි.

තමිල්නාඩු වෙරළට කිලෝමීටර් 50ක් පමණ දුරින් ඉදිකෙරෙන චීන ව්‍යාපෘතිය වෙනුවට  ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 12ක ආධාරයක් ලබා දෙමින් තමන්ගේ බලශක්ති ව්‍යාපෘතියක් පිහිටුවීමට පෙබරවාරියේදී ඉන්දියාව යෝජනා කළ බව හින්දු පුවත්පත වාර්තා කර තිබුණි.

මාලේ අගනුවරට දකුණු දිගින් පිහිටි තා අතොලුවේ ජනාවාසී දූපත් දොළහේම බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපනය කිරීම සඳහා චීන සමාගම සමග ගිවිසුම් අත්සන් කළ බව මාලදිවයිනේ පරිසර, දේශගුණ විපර්යාස සහ තාක්ෂණ කටයුතු භාර අමාත්‍ය අමිනාත් ෂෝනා නොවැම්බර් 29 දා නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ ආණ්ඩු මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.

මේ හා සම්බන්ධයෙන් පල වූ පුවත්

https://www.aithiya.lk/6271/%e0%b6%af%e0%b7%96%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-3%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ad/

https://www.aithiya.lk/6277/sale-of-sri-lankan-islands-to-china/

Social Sharing
නවතම