කතරගම සංචාරක නිවාඩු නිකේතන අලුත්වැඩියාවට ගොස් මිලියන ගණනක් ගසා කාලා!

කතරගම සංචාරක නිවාඩු නිකේතන අලුත්වැඩියාවට රැපියල් මිලියන 29 න් මිලියන 11 ක් නොකළ වැඩ සඳහා ගෙවීමේ සිද්ධියේ වරදකරුවන්ට නීතිපති මඟින්  දඬුවම් ලබා දෙන ලෙස නිර්දේශ කර ඇතත් තවමත් එය ක්‍රියාත්මක වී නොමැති බව පාර්ලිමේන්තු කොප් කමිටුවේදී හෙළි වී ඇත.

වසර කිහිපයකට පෙර කතරගම සංචාරක නිකේතනයේ අලුත්වැඩියාව සඳහා රු. මිලියන 29 න් වැය කර ඇති බව සඳහන් විය.  නමුත් ඉන් මිලියන 11 ක් නොකළ වැඩ සදහා ගෙවා ඇති බවට තිබූ විගණන නිරීක්ෂණය පිළිබදව කමිටුව අවධානය යොමු වීම නිසා  නැවත පත්කළ විශේෂඥ කමිටුවක් මගින් මෙම මි.11 ක අගය රු මිලියන 4.8 කට තක්සේරු කර තිබේ.

මේ පිළිබදව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා පත් කළ කමිටුවක් මගින් අදාළ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට නීතිපති මගින් දඩුවම් ලබා දෙන ලෙස නිර්දේශ වී ඇතත් මේ වන විටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව අනාවරණය වී ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියේ 2018 සහ 2019 වර්ෂයන් සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සදහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙකී සිද්ධියට සම්බන්ධ නිලධාරියාට‍ අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත් කර ඇති බවද මෙහිදී විගණකාධිපතිවරයා අනාවරණය කළ අතර මේ පිළිබදව කමිටුව සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.

මෙය පවතින කළමනාකාරීත්වය විවේචනය කිරීමක් නොව රාජ්‍ය ආයතන දිගු කලක් තිස්සේ පැවතෙන මෙම ක්‍රමවේදය වෙනස් කොට විගණන නිරීක්ෂණ වලට සහ නිර්දේශවලට නිසි පියවර ගැනීම වගකීමක් බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

Social Sharing
නවතම