ගෑස් භීතිකාව!

දවස පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ගෑස් ටැංකි පුපුරා යාම් වාර්තා වුයේ ජනතාව තිගැස්මට ලක් කරමිනි. ගෑස් මිල ඉහළ යාම, ගෑස් හිඟ වීම යන කරුණු නිසා කැළඹීමට පත්ව සිටි ජනතාව තව තවත් තිගැස්මට ලක් වුයේ ගෑස් කාන්දු වීම් ගැන ඇසුනු කථා වලිනි.

කොළඹ, කුරුඳුවත්තේ සිට ගමේ නිවසේ ගෑස් ටැංකි පුපුරා යාම දක්වා විහිදි ගිය මේ සිද්ධිදාමයේදි බොහෝ දෙනෙකු චෝදනා කර සිටියේ අලුතෙන් වෙළඳපොලට පැමිණෙන ගෑස් වල ප්‍රමිතියක් නොමැති බවය. ඒ නිසා ගෑස් කාන්දු වී පිපිරිම් සිදු වන බවටය.

නමුත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පහුගියදා පාර්ලිමේන්තුවේදි කියා සිටියේ සංයුතිය වෙනස්වීම ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමට හේතුවක් නොවන බවයි. මේ පිළිබඳ මොරටුව විශ්වවිද්‍යාලය විසින් පර්යේෂණ කොට තහවුරු කොට ඇති බවද සඳහන් කළේය. එසේම ලිට්රෝ සමාගම විසින්  වෙනස් කරන ලද ලීටර් 18ක නව ගෑස් ටැංකිය අත්හිටුවීමට ද කටයුතු කොට ඇති බව  ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළ ඔහු පවසා තිබුණේ මේ නිසා ගෑස් සම්බන්ධයන් පවතින ව්‍යාජ මතවාද පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසය.

ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් පසු එය නිවස තුළට ගැනීමට පෙර කාන්දුවක් සිදුවන්නේ දැයි පරීක්‍ෂා කර බැලීම සුදුසු බව ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂන ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා පවසා තිබෙන පුවතක් ලංකාදීපයෙන් වාර්තා කර තිබුණි.

එම පුවතට අනුව සිලින්ඩරයෙන්ම ගෑස් කාන්දු සිදුවන්නේ නම් වරද ඇත්තේ වෑල්වයේ බවත්, වෑල්වයෙන් ගෑස් කාන්දුවීමය හේතුව සිලින්ඩරයේ අභ්‍යන්තර පීඩනය බවත් පීඩනය වෙනස් වන්නේ සංයුතිය වෙනස් වුවහොත් පමණක් යැයි සඳහන් කර ඇත.

ගෑස් සිලින්ඩරයේ වෑල්වය මතට සබන් පෙන ස්වල්පයක් යෙදීමෙන් කාන්දුවක් වන්නේ ද යන්න නිරීක්‍ෂණය කළ හැකි බව කී නිමල් ද සිල්වා මහතා, රෙගියුලේටරය කලකින් මාරු කර නැත්නම් මාරු කරගැනීම මෙන්ම නිසි ප්‍රමිතියකින් යුත් රෙගියුලේටරයක් යෙදීමත්, ගෑස් සිලින්ඩරය සම්බන්ධ කරන නලය හොඳින් පරීක්‍ෂා කර භාවිතා කිරීමත් වැදගත් බව එම ඉංජිනේරු මහතා වැඩිදුරටත් ලංකාදීපය වෙත පවසා ඇත.

මේ අතර ‌කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාද සොයිසා මෙනෙවිය සඳහන් කර තිබුණේ මෙය අලුත් තත්ත්වයක් නොවන බවත් කොළඹ ජාතික රෝහලට මෙවැනි ගෑස් ටැංකි පිපිරිම් වලින් පිළිස්සුම් තුවාල ලැබු අය ප්‍රතිකාර සඳහා නිරන්තරයෙන් ඇතුලු කෙරන බවකි.

කෙසේ නමුදු ඊයේ (28) දිනයේද කෑගල්ල හා පුත්තලමේ ගෑස් කාන්දු වීම් දෙකක් වාර්තා විය.

පවතින තත්ත්වය සලකා බලා වෙළෙඳපොළ තුළ ඇති ගෑස්වල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා දිස්ත්‍රික්ක 7 කින් මේ වන විට සාම්පල ලබාගෙන ඇත.

ගෑස් සම්බන්ධයෙන් සාමාන්‍ය තත්ත්වයට වඩා දෙයක් පසුගිය කාලයේ රට තුළ අනතුරු සිදුවූ බවත් ගෑස්වල ප්‍රමිතිය පරීක්‍ෂ කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වගකීමක් නිසා ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට එම ආයතනය එකඟ වූ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියි.

Social Sharing
නවතම