රටේ අනාගතය තීරණය කෙරෙන 76 වෙනි අයවැය අදයි.

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ 76 වෙනි අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. මේ ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි අයවැය ලේඛනයය.

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් (12) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර අය වැය කථාව ප.ව 02.00 ට ආරම්භ වේ.

මීට අදාල පනත් කෙටුම්පත ඔක්තොම්බර් මස 07 වැනිදා පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා  සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29  දින ගැසට් පත්‍රයේ පළ කෙරිණි.

මේ අනුව 2022 ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාව  තුළ සේවා වියදම් සඳහා රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අටදහසක්  වන  ආණ්ඩුවේ වියදම්වලට අදාල පුනරාවර්තන සහ මූලධන වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii පරිච්ඡේදය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර බදු නියම කිරීම, ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීම ඇතුළු කාරණා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වේ.

හෙට (13)  සිට  නොවැම්බර් 22 සඳුදා  දක්වා  දින 07ක් අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වේ. නොවැම්බර් 22 වැනි සදුදා ප.ව 5.00ට අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

නොවැම්බර් 23 වැනි අඟහරුවාදා  සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. දෙසැම්බර් 10 වන දින ප.ව 5.00ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද  විකාශය කෙරේ.

අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට (12) සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.

 

Social Sharing
නවතම