රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!

Sri Lankan Illegal Immigrants

අසාර්ථක වූ විදේශ ගතවීමේ මෑතම සිදුවීම හෙළි වුයේ කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ නිල නොවන අයුරින්  රටින් පිටවීමට උත්සාහ කළ පිරිමින්, ගැහැණුන් සහ ළමයින් ඇතුළු 19 දෙනෙකුගේ පිරිසක් නාවික හමුදාව විසින් ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීම සමගය.

මෙම පිරිස කල්පිටිය ප්‍රදේශයට ගමන් කළ වෑන් රථයක් බාරයට ගෙන රියදුරු සහ ඔහුගේ සහායකයා අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

එක් කාන්තාවක් හා කුඩා දරුවන් හතර දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස කිලිනොච්චිය, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය.

ඉකුත් ජුනි මාසයේ දී  මෙවැනි පිරිසක් ඉන්දීය  පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ කැනඩාව බලා යාත්‍රා කිරීමට කර්ණාටක ප්‍රාන්තයේ මන්ගලුරු නගරයේ රැඳී සිටියදීයි.

තමිල්නාඩු පොලිසියේ ඔත්තු සේවාවන්ට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමේදී ශ්‍රී ලාංකිකයන් 38 දෙනකු සහ ඔහුන්ට ආහාර පාන සපයමින් සහයෝගය දුන් ඉන්දියානුවන් හය දෙනකුද අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

මාධ්‍ය වාර්තාවන්ට අනුව ජාවාරම්කරුවන් විසින් කැනඩාව බලා රැගෙන යාමට  එක් අයෙකුගෙන් ලබා ගෙන ඇති  මුදල ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ දහයකි.

නිල නොවන අයුරින් රටින් පිටවීම සඳහා තැත් කළ තරුණයන් 30 දෙනෙකු  හලාවත, ඉරණවිල, සමිඳුගම ප්‍රදේශයේ රැඳී සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය  මැයි මාසයේදීයි.

අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් මෙම පිරිස රැඳී සිටී නිවසේ හිමියා ද අත් අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පවසන්නේ අඩංගුවට ගත් මේ පිරිස යාපනය, මඩකළපුව, මුලතිවු සහ පුත්තලමේ පදිංචි කරුවන් බවයි.

රටින් පිටවීම ඉහල යාමත් සමඟ අගමැති මහින්ද රාජපක්‍ෂ කියා සිටියේ ආණ්ඩුවේ අවධානය ඒ කෙරෙහි යොමු විය යුතු බවයි.

”පසු ගිය කාලයේ තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයන් පාස් පෝට් පෝලිම් වල ඉන්නවා ද සොයා බලන්න ඕනෑ,” යැයි ඉකුත් දා පැවති ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ පස් අවුරුදු සමරු සමුළුව අමතා අගමැතිවරයා පැවසීය.

Social Sharing

Related posts