ජාවාරම් දේශපාලනය මහජන සේවාවක් ලෙස පරිවර්තනය විය යුතුයි – ජවිපෙ ටිල්වින් සිල්වා

ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය කල්දමාවි යන සැකය සියලු දෙනාට මේ වන විට මතුව තිබෙන ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු පවසන්නේ නව මැතිවරණ ක්‍රමයක් සකස්වීමේදී මහජන කැමැත්ත සාධාරණව නියෝජනය විය යුතු බවය.  ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මැතිවරණ ක්‍රමයක් සකස්වීමේදී දැඩිව අවධානය යොමුකල යුතු මූලධර්ම සම්බන්ධයෙන් තමන් යෝජනා ඉදිරිපත් කල  බවය.

එමෙන්ම පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් සිය පක්ෂයට විවේඡන තිබුණත් ව්‍යවස්ථානුකූලව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව ඇති බවත් කොවිඩ් වසංගතය හා ආර්ථික පීඩාවන් හේතුවෙන් අසරණව සිටින ජනතාව සම්බන්ධයෙන් මැතිවරණ පැවැත්වීමේදී දැඩිව අවධානයට යොමුකල යුතු බවත් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ සමගින් පැෆ්රල් සංවිධානය පවත්වනු ලබන සාකච්ඡා මාලාවේ දෙවැන්න  (10) ජනතා විමුක්ති පෙරමුණ සමගින් පැවැත්වු අවස්ථාවේදිය.

මෙහිදි ඔහු පැෆ්රල් සංවිධානය වෙත යෝජනා කර සිටියේ පුරවැසියා ඡන්දය භාවිත කිරීමේ සැලකිලිමත් විය යුතු ප්‍රමුඛතා සම්බන්ධයෙන් ජනතාව අතර කතිකාවතක් ඇතිකල යුතුව ඇති බවය. ඒ සඳහා පැෆ්රල් සංවිධානයට අවස්ථාව ඇති බවත් එවැනි කතිකාවතක් හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මහඟු රුකුලක් අත්විය හැකි බවත් පෙන්වාදුන් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර සිටියේ පුරවැසියන්ගෙන් බොහෝ දෙනෙකු වර්තමාන දූෂිත දේශපාලන සංස්කෘතියේ ගොදුරු බවයට පත්වී ඇති බවය.

තවද දේශපාලනය ජාවාරමක සිට මහජන සේවාවක් දක්වා පරිවර්තනය විය යුතුව ඇති බවත් දේශපාලකයින්ගේ විශ්‍රාම වැටුප්, වාහන බලපත්‍ර ඇතුලු සියලු වරප්‍රසාද අහිමි කිරීම ක්‍රියාත්මක කිරීම තුළින් ඊට ආරම්භයක් ගත හැකි බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් මෙහිදි අවධාරණය කර ඇත.

මෙම සාකච්ඡාවේදීද මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කල පැෆ්රල් සංවිධානයේ යෝජනාවලිය සකස්කිරීමේ ගමන්මග සම්බන්ධයෙන් සම්පාදනය කෙරුණු ග්‍රන්ථයද ජනතා විමුක්ති පෙරමුණ වෙත පිළිගැන්වීමද සිදුවිය.

මෙම සාකච්ඡාවට පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, උප සභාපති කේ.එන් ඩීන් හා ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් යන මහත්වරුන්ද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා නීතීඥ සුනිල් වටගල යන මහත්වරුන් එක්වූහ.

 

Social Sharing
නවතම