ජනාධිපතිම ඥානසාර හිමිගේ තටුවක් කපයි.

එක රටක් – එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පවරා දුන් බලය ජනාධිපතිවරයා විසින්ම ඉවත් කර ගැනීමට  කටයුතු කර ඇත.

පසුගිය ඔක්තෝබර් 26 වනදා මෙම කාර්ය සාධක බලකාය පිහිටුවමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන්ව තිබුණේ “එක රටක් – එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම මෙම කාර්ය සාධක බලකායේ කාර්යය වන අතර ඊට අදාළ සංශෝධන වේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ කෙටුම්පතට ඒවා ඇතුළු කිරීම අධිකරණ අමාත්‍යාංශයේ කාර්යයක් වන බවටයි.

නමුත් නොවැම්බර් 06 දිනැතිව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් එම කාර්ය සාධක බලකායේ කාර්යය සංශෝධනය කර ඇති අතර එහි ඇත්තේ එක රටක් එක නීතියක් සංකල්පය පිළිබඳ විවිධ පාර්ශ්ව දරණ අදහස් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට ආවේණික සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පමණක් එම කාර්ය සාධක බලකායට පවරා ඇත.

ඒ අනුව පනත් කෙටුම්පත් සකස් කිරීමේ බලය එම ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉවත් කර ඇත.

අධිකරණ අමාත්‍යාංශයට අයත් කාර්යයක් වන පනත් කෙටුම්පත් සකස් කිරීම ඥානසාර හිමිගේ කාර්ය සාධක බලකායට පැවරීම පිළිබඳව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සිය දැඩි විරෝධය පළකර තිබුණු අතර ඒ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පවා ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබුණි.  එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි බාරගෙන තිබුණේ නැත.

ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම සඳහා  මුලින් ප්‍රකාශයට පත් කෙරුණු  ගැසට් නිවේදනයේ යම් යම් අඩුපාඩු පවතින්නේ  යැයි  ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී  පිළිගෙන තිබුණි.

මේ අතර  මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මහාචාර්ය දයානන්ද බණ්ඩා   සහ  කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් යන මහත්වරු එම  කාර්ය සාධක බලකායෙන් පසුගියදා ඉවත්වී ඇත. ඒ පුරප්පාඩු සඳහා රාමලිංගම් චක්‍රවර්ති  කරුණාකරන්, යෝගේස්වරී සද්ගුණරාජා සහ  අයියාම් පිල්ලේ දයානන්ද රාජා යන මහත්ම මහත්මීහු පත් කර ඇත.

 

Social Sharing
නවතම