තෙල්, ජලය, විදුලිය, වරාය අද උද්ඝෝෂණයේ

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40%ක කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එළඹ ඇති ගිවිසුම අහෝසි කරන ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සංවිධාන කරන විරෝධතාවට සහය දක්වමින් අද (03)  වරාය, ජල සම්පාදන සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති ද විරෝධතාවල නිරත වේ.

එමෙන්ම අද (03)  විදුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයේ නිරත වේ.

විදුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයේ නිරත වේ. ඒ හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදු විය හැකි බව ලංකා ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා සිටියි.

මේ අතර කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයෙන් මහජන පීඩාවක් ඇති වන බැවින් එය නවතා දමන ලෙස ආඥාවක් නිකුත් කරන්නැයි වැල්ලම්පිටිය පොලීසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින්  ඊයේ (02)  ප්‍රතික්ෂේප කර ඇත. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බවද  ඇය කියා ඇත.

විදුලි සේවක උද්ඝෝෂණය හමුවේ විදුලි විසන්ධි වීමක් සිදුව එය යථා තත්වයට පත් කිරීමට නොහැකි වුවහොත් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

මීට සමගාමීව වරාය වෘත්තීය සමිති සංවිධානය කර ඇති විරෝධතාවය කොළඹ වරාය ඉදිරිපිට පිහිටි ඔරලෝසු කනුව අසලදී පැවැත්වෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් සංවිධානය කරන විරෝධතාව පිලිබඳ එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසන්නේ මේ වෙනකොට විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු සියල්ල අවලංගු කර ඇති නමුත්  චක්‍රලේඛනය නොසලකා හරිමින් ලෙඩ නිවාඩු වාර්තා කරලා, අද  සියලු සේවකයින් කොළඹට පැමිණෙන බවය.

අද සිද්ධ වෙන්නේ වැඩවර්ජනයක් නොව  උද්ඝෝෂණයක් බවත්  නමුත් උද්ඝෝෂණයට කොළඹට  සේවකයින් පැමිණීම නිසා යම් ආකාරයක බිඳවැටීමක් සිද්ධ වුණත් යථාතත්ත්වයට පත්කිරීමේ දී ප්‍රමාදයක් ඇතිවිය හැකියි බව ඔහු පවසයි.

අද දින සිදු කරන උද්ඝෝෂණයෙන් පසුව වැඩ වර්ජන තීන්දුවේ දිනය කවදාද කියලා ප්‍රකාශයට පත්කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

 

Social Sharing
නවතම