හිටපු නාවික හමුදාපති ඉවත් කළ “රහස්‍ය වාර්තා” වින්දිත පාර්ශවයත් ඉල්ලයි!

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයකුගේ “රහස්‍ය වාර්තාවක්” පදනම් කරගෙන, තරුණයින් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීමට නීතිපතිවරයා පියවර ගත් බව අභියාචනාධිකරණයේදී ඉකුත් 01 දා හෙළි විය.

ඒ රහස්‍ය වාර්තාව ඊයේ (02)  අභියාචනාධිකරණයට ඉදිරිපත්  කෙරුණු අතර ඒ පිලිබඳ තීන්දුවක්  නොවැම්බර් 08  වැනිදා ලබා දීමට සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මේ අතර එම වාර්තාවේ සඳහන් තොරතුරු දැනගැනීම අයිතිය ඉල්ලා පීඩිතයන්ගේ නෑ දෙමාපියන් සමග එක්ව  මානව හිමිකම් ක්‍රියාධාරීන් හා නීතිඥවරුන් උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

“රහස්‍ය වාර්තාවක් වුවත් නඩුවේ දෙපාර්ශවයටම එය ලබා දිය යුතුයි. නැත්නම් අපි කොහොමද උත්තර බඳින්නේ? මේ ගැන කතා කරන්න අපි නීතිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලුවත් ඒ ගැන උනන්දුවක් දැක්වුයේ නැහැ” යැයි  නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින්, අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසා සිටියි.

අතුරුදහන් කළවුන්ගේ ඥාතින් ඇතුළු හතලිහකට ආසන්න පිරිසක් එක් ව සිටී මෙම උද්ඝෝෂණයේදී විත්තිකාර හිටපු නාවික හමුදාපතිගේ අධි චෝදනා ඉවත් කිරීමට එරෙහිව නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව විරෝධය එල්ලවිණි.

2019 නොවැම්බර් 19 වැනිදා මේ දක්වා කෙතරම් අධි චෝදනා ප්‍රමාණයක් නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන ඇත්ද, එසේ ඉවත් කර ගත් චුදිතයන්ගේ නම්, නඩු අංක සහ අධි චෝදනා ගොනු කළ දින මොනවාද, යන්න විමසා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද  නීතිපතිවරයාගෙන් ලිඛිත විමසීමක් කර තිබේ.

පසුගිය පාර්ලිමේන්තු සැසියේදී රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේ රාජපක්‍ෂ සභාග ආණ්ඩුවේ දේශපාලඥයින්ගේ හා හිතවතුන්ට අදාළ නඩු 20 ක් නීතිපති සංජය රාජරත්නම් විසින් ඉල්ලා අස්කරගෙන ඇති බවකි.

යහපාලන ආණ්ඩු සමයේ සිදු වූයේ යැයි කියන දේශපාලන පලිගැනීම් විමර්ශනයට පත් කළ  උපාලි අබේරත්න කොමිසම මගින්ද මෙසේ අධි චෝදනා ලැබූ රාජපක්‍ෂ පවුලේ හා ආණ්ඩුවේ හිතවතුන් රැසක් නිදොස් කොට නිදහස් කරන්නට නිර්දේශ කර තිබිණි. ඒ අතර හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ ද වේ.

Social Sharing
නවතම