චීනය කරපු බරපතල වැරැද්දක් ගැන හිටපු ජනාධිපති කියයි.

චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම අසාධාරණ හා බරපතල වැරැද්දක් සේ තමන් සලකන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පොලොන්නරුව නවනගරය බෞද්ධ සංගම් ශාලාවේදී පැවති වැඩසටහනකට සහභාගී වෙමින් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහි දී මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය.

“ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11ක් විසින් පවත්වන්නේ යම් කිසි සංවාදයක්. ඒක සාමාන්‍ය‍යෙන් ආණ්ඩුවල ස්වභාවයක්. පුදුම වෙන්න කාරණයක් නෙමෙයි. ලංකාවේ පළවෙනි වතාවට වුණා නෙමෙයි. ආණ්ඩුවක් කරගෙන යනකොට ආණ්ඩුවේ ඉන්න අය අතරේ යම් යම් මතවාදී ප්‍රශ්න ඇති වෙනවා. ඒවා පිළිබදව වාද විවාද යනවා. යම් යම් ප්‍රශ්න මතු වෙනවා.

අපේ මුලු පාර්ලිමේන්තු ඉතිහාසයම ගත්තොත් 1947 ඉදලා ම ඔය වාගේ ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒක පුදුමයට කාරණයක් නෙමෙයි. දැන් මහජන බැංකුව අසාදු ලේඛනයට පත් කිරීම චීනය කරලා තියෙන්නේ. ඒක ඉතාමත් ම අසාධාරණයි. මහජන බැංකුව කරලා තියෙන්නේ අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම. අධිකරණ නියෝගයකට ඕනම කෙනෙක් හිස නමන්න ඕන. අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරපුවාම ඒ තත්ත්වය උඩ මහජන බැංකුව අසාදු ලේඛනයට දාපු එක චීනය බරපතල වැරැද්දක් කරලා තියෙන්නේ.

මහජන බැංකුව ඒ තත්ත්වයට පත් කළ යුතු නෑ. මොකද අපි කාගේත් බැංකුව. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සල්ලි තියෙන බැංකුවක්. ඒක අසාදු ලේඛනයට පත් කරලා තියෙන්නේ චීනය. අපි ඒ ගැන කණගාටු වෙනවා. ඒක හොඳ වැඩක් නෙමෙයි. යුගදනවි බලාගාරය පිළිබඳ ව අපේ මතය ලිඛිතව රජයට කියලා තියෙනවා. අපි ඒ ගැන කතා කරලා තියෙනවා. ඒක තමයි අපේ ස්ථාවරය. ඒකේ වෙනසක් නෑ.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම