පොලිස් ප්‍රචණ්ඩත්වය ඉහළ යන්නේ නිලධාරීන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසාද?

අද (01) මාධ්‍ය රැසකින් වාර්තා කර තිබුණේ මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 37 දෙනෙක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය රාජකාරියේ යෙදී සිටින බවය.

මේ බව අනාරණය වී තිබුණේ  පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකිනි. එම ප්‍රවෘත්තියට අනුව  එම නිලධාරීන් අතරින් විසි අට දෙනකුම (28) කොළඹ පොලිස් බල ප‍්‍රදේශය තුළ රාජකාරී කරන අයය.

මේ ආකාරයට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සෙසු පළාත්වල පොලිස් නිලධාරීන් සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ සියලු පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමට පොලිසිය වැඩ පිළිවෙලක් යොදා ඇති බවද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර ඇත.

ඔවුන් විද්‍යාත්මක පරීක්‍ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ රාජකාරි කිරීම බලවත් ප‍්‍රශ්නයක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් කියා ඇත.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුව තුල සේවය කරන්නේ අද ඊයේ සිටක නොවේය. මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන නිලධාරින් මත් ද්‍රව්‍ය භාවිතා කර පොලිසිය තුල සිදු කරන විවිධ අමානුෂික ක්‍රියාවන් පිලිබඳ අප අසා ඇත්තෙමු.

විශේෂයෙන්ම පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදුවන ශාරීරික මෙන්ම මානසික වදහිංසා සම්බන්ධව සොයා බැලිමේදී බොහෝදුරට අනාවරණය වන්නේ එකී නිලධාරියා එම අවස්ථාවේ කුමන හෝ මත්ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවය.

පැමිණිල්ලක් කිරිමට, සැකකරුවෙකුට පොලිස් ඇපයක් තැබීමට පොලිසියට කාන්තාවකට විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන පොලිස් නිලධාරින්ගේ ප්‍රචණ්ඩත්වයට ලක් වීමට සිදු වේ.

වර්තමාන පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට පමණක් නොව රාජකාරි කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමටද පෙළඹි ඇත.

පහුගිය දිනෙක වැලිකඩ පොලිසියෙන් හමු වූයේ එවන් පොලිස් නිලධාරියෙකි. ඔහු අලෙවි කර තිබුණේ අයිස් නම් මත් ද්‍රව්‍යයය. මට අමතරව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් රැසක්ද පහුගිය කාලයේ අත්අඩංගුවට ගනු ලැබුයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට හවුල් වී තිබු හෙයිනි.

එමෙන්ම පහුගියදා යක්කමුල්ල ප්‍රදේශයේදී තරුණයෙකුට අලුයම් කාලයේ සිදු කළ පහර දිම, රත්නපුර-කිරිඇල්ල ප්‍රධාන මාර්ගයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ව්‍යාපාරිකයෙකුට පහර දීමට තැත් කිරීම ද නිදසුන්ය.

මෙලෙස තවමත් අනාවරණය නොවූ නිලධාරින් රැසක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරින් දන්නා කරුණකි.

පොලිස් ප්‍රචණ්ඩත්වය ඉහළ යාමටද ඔවුන්ගේ මේ මත්ද්‍රව්‍ය භාවිතය හේතු වී ඇතුවා මෙන්ම පොලිසිය දුෂිත ස්ථානයක් බවට පත් කිරීමටද මොවුන්ගේ හැසිරිම හේතු වෙන බව දැන් හෝ ඉහළ පොලිස් ප්‍රධානීන් අවබෝධ කර ගැනිම යහපත් සාධනීය ලක්ෂණයකි.

Social Sharing
නවතම