පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට අගමැතිගෙන් නිවාස

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි අප්‍රසාදය පළ වෙමින් තිබියදී ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමට අගමැතිවරයා කටයුතු කර තිබේ.

රජය නිවේදනය කර ඇත්තේ 2019 පාස්කු ඉරුදින එල්ල වූ  ප්‍රහාර මාලාවේ  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමේ පළමු අදියරට ඔක්තෝබර් 28 වැනිදා  අග්‍රාමාත්‍යවරයා එක් වූ බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් “අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවසු බව රජය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.

අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අමුත්තන් අතින් එහි දී නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණවලින් ප්‍රතිලාභී පවුල් 19කට මෙසේ නව නිවාස ප්‍රදානය කර ඇත.

කුලී පදනම හා අඩු අදායම්ලාභී පදනම මත තෝරාගත් ප්‍රතිලාභී පවුල් 33කට මෙසේ නව නිවාස ප්‍රදානය කිරීමට නියමිත අතර එම එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 4 ඉක්මවන බවයි රජය පවසන්නේ.

අගමැති මහින්ද රාජපක්ෂ එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ප්‍රමාදයන් ඇතත් රජයක් ලෙස විය යුතු යුතුකම් ඉටු කරන බවයි.

Homes for victims of Easter attacks Mahinda Rajapaksa

“එදා කොච්චිකඩේ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජයක් වශයෙන් කළ යුතු යුතුකම අපි අනිවාර්යයෙන් ඉටුකරනවා. අපි අතින් ප්‍රමාදයන් ඇතිවෙන්න ඇති, එහෙත් අනිවාර්යෙන්ම ඔවුන් වෙනුවෙන් අපේ කැපවීම කරන්න සූදානම්. මොකද අපි දන්නවා ත්‍රස්තවාදයෙන් බැටකාපු පිරිස ඒ පවුල් මොනතරම් තත්ත්වයක ඉන්නවාද කියන එක. මේ වාගේම ඉදිරියේ දී එවැනි තත්ත්වයක් ඇති නොවන්න වගබලාගන්න මේ රජය පියවර ගන්නවයි කියන එක මතක් කළ යුතුව තිබෙනවා. ජනතාවට නිදහසේ ජීවත්වෙන්න ගමන් බිමන් යන්න. තමන්ගෙ ආගම ඇදහීම සඳහා පන්සලට පල්ලියට කෝවිලට යන්න අයිතිය තිබිය යුතුයි.”

එම අවස්ථාවට ජේ.ඩී ඇන්තනී රදගුරුතුමා සහ ඇන්ටන් රන්ජිත් රදගුරුතුමා, නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ද එක්ව තිබේ.

මිනිස් ජීවිත 268 ක්

Homes for victims of Easter attacks Mahinda Rajapaksa

දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියහ.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල දෙවසරකට ඉහතදී  බෝම්බ පිපිරීම් සිදු වුයේ  පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව දිගින් දිගටම අවධාරණය කරන  කොළඹ අගරදගුරු කාදිනල්  මැල්කම් රංජිත් හිමියෝ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් සිටිති.

Social Sharing
නවතම