සමාජ මාධ්‍යයෙන් සැඟවිය නොහැකි පොලිස් ප්‍රචණ්ඩත්වය !

මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කළ තරුණයින් දෙදෙනෙකුට පොලිස් කොස්තාපල්වරයෙකු පහර දෙන වීඩියෝව සමාජ මාධ්‍ය අතර ඉතා වේගයෙන් හුවමාරු වුයේ ඉකුත් 23 දා සිටය.

මහ මඟදි ඉතා අමානුෂික ලෙස තරුණ්‍යින්ට පහර දුන් මෙම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හෙළිදරව් කිරිමත් සමඟ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට සිදුව ඇත.

මීට පෙරද මහරගම – පන්නිපිටියේදි ට්‍රැෆික් පොලිස් නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරෙකුට මහ මඟ බිම දමා උඩ පැන පැන පහර දෙන වීඩියෝවක් සමාජගත වී තිබුණි. එකී විඩියෝවෙන් පසුව එම නිලධාරියාටද වැඩ වැරදුනේය.

කෙතරම් අත්අඩංගුවට ගත්තද, වැඩ තහනම් වුවද පොලිස් ප්‍රචණ්ඩත්වය තවම නැවතී නැත. නමුත් අද වන විට සමාජ මාධ්‍ය දියුණු වීමත් සමඟ පොලිස් නිලධාරින්ට පමණක් නොව සමස්ත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ පුද්ගලයින්ටද යමක් කිරිමට පෙර දෙවරක් සිතිය යුතුව ඇත.

ඒ් තමන් යම් වැරැද්දක් සිදු කළහොත් එය සමාජ මාධ්‍ය මඟින් එළියට පැමිණිමේ හැකියාවක් ඇති බව සිහිතබා ගැනීමය.

මේ සමාජ මාධ්‍ය නොතිබුණේ නම් අපට පන්නිපිටියේ පහර දීම, එරාවුර් පොලිස් නිලධාරියාගේ පහර දීම, වැඩිහිටියන් දරුවන්ට කෲර ලෙස සැලකිමේ ආදිය තොරතුරු  අපට ලැබෙන්නේ නැත.

පොලිස් ප්‍රචණ්ඩත්වය ඉහළ යාම නිසා පොලිසිය පිලිබඳව මහජනතාව තුල ඇත්තේ යහපත් ආකල්ප නොවන බව අප කවුරුත් දන්නා කරුණකි.

ඔවුන් සිය බලය අයුතු ලෙස භාවිතා කිරිම මෙයට ප්‍රධානම හේතුවය.

කෙසේ නමුදු එරාවුර් සිද්ධිය සම්බන්ධයෙන් එකී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමටත්, ඔහුගේ වැඩ තහනම් කිරිමටත් මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

නමුත් මොහුම පහුගියදා ප්‍රකාශ කර තිබුණේ පොලිස් නිලධාරින්ට එල්ල වන චෝදනා මාස 06 ක් තුල විභාග නොවුනහොත් එකී චෝදනා ඉබේම අහෝසි වී යන ක්‍රමවේදයක් සකස් කරන බවය. මෙය බොහෝ මානව හිමිකම් ක්‍රියාදරයින්ගේ, සිවිල් සමාජයේ  විවචේනයට ලක් විය.

කෙසේ නමුදු දකුණට වඩා උතුරේ පුද්ගලයින්ට පොලිස් ප්‍රචණ්ඩත්වය එල්ල වීම වැඩි බව උතුරේ වැසියන් දීර්ඝ කාලයක සිට කරන චෝදනාවකි.

මේ අතර කඩවත පොලිසියේ පොලිස් නිලධාරින් පිරිසක් පහුගියදා දෙපාර්ශවයක් අතර ඇති වු ගැටුමක් පාලනය කිරිමට ගොස් සිටියදි උප පොලිස් පරික්ෂකවරයෙකු අහසට වෙඩි තබා තිබුණි. ඔහු නීතියට අනුව අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කලද ඔහු සිය  ගිනි අවිය භාවිතා කළ බවට පොලිස් පොතේ සටහනක් දමා නොතිබිම සම්බන්ධයෙන් ද මේ වන විට විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ බව ඊයේ (24) පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද තහවුරු කර තිබුණි.

ශානි

 

Social Sharing
නවතම