කොවිඩ් සමයේ වනජීවි කලාප වලට පැමිණි අනවසර පිරිස් ඉහළට.

කොවිඩ් වසංගතය තිබියදී ගත වූ මාසයක පමණ කාලයක් තුළ මහවැලි ගඟ ආශ්‍රිත වනජීවී කලාපවලට අනවසරයෙන් ඇතුලු වී විනෝද වූ පුද්ගලයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත් බවත් ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ව්‍යාපාරික ස්ථානවල කළමනාකරුවන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද සිටින බවත් පොලොන්නරුව වනජීවී කලාප අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඉකුත් දා ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මහවැලි ගඟ ආශ්‍රිතව විනෝද වීමට ඩිෆෙන්ඩර් රථ 3කින් හා ජීප් රථයකින් පැමිණ මත්පැන් පානය කරමින්  මහවැලි ගඟේ විනෝද වූ පුද්ගලයින් 10 දෙනෙකු ද, ඊට පෙර සතියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුලු පුද්ගලයින් 15 දෙනෙකු සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මහවැලි ගඟ සමීපයේ නෙලුම් වැවෙහි මසුන් මරමින් මත්පැන් පානය කරමින් විනෝද වූ පිරිසක් ද අත් අඩංගුවට ගෙන ඇත.

කිරි ඔය බීට්‍ටු කාර්යාලය  මගින් වස්ගමුව ජාතික වනෝද්‍යානයේ මහවැලි ගඟ ආශ්‍රිතව විනෝද වෙමින් මැණික් ගරමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් ද ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ දාස්තොට ප්‍රදේශයට සමීපව මහවැලි ග‍ඟෙහි මසුන් මරමින් මත්පැන් පානය කරමින් විනෝද වූ තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 10 දෙනෙකු ද ලෙස මෙම පිරිස් අත් අඩංගුවට පත් ව ඇත.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික වනෝද්‍යාන තුළ විනෝද වීමට හා සංචාරක ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමු නොවූ ප්‍රදේශයක් බැවින් මෙම මහවැලි ගඟ ආශ්‍රිත ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ,වස්ගමුව මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශය,සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශය මෙසේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන බවට වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බව ද එම කාර්යාලය පෙන්වා දෙයි.

“පසුගිය අගෝස්තු මාසේ 20 වෙනිදා ඉදලා මේ සැප්තැම්බර් 28   වෙනිදා දක්වා මාසයක පමණ කාලයක් තුළ වනජීවී කලාපවලට ඇතුලු වී විනෝද වූ පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් වනජීවී නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ගිය සතියේ අත් අඩංගුවට ගත්ත ඩිෆෙන්ඩර් රථ 3ක් රුපියල් කෝටි 2ක  බැඳුම්කරයකට යටත් ව නිදහස් කළේ. තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් බව කියන ජීප් රථයකුත් ලක්ෂ 80 ක පමණ ඈප බැදුම්කරයකින් නිදහස් කළේ.

මේ පුද්ගලයින් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,ඉහළ පෙළේ ව්‍යාපාරික ආයතනවල කළමනාකරුවන්,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිටිනවා. මේ අය මහවැලි ගඟේ මාලු අල්ලමින් කූඩාරම් ගහගෙන මත්පැන් පානය  කරමින් විනෝද වී තිබෙනවා.ඒ විනෝද වෙන ගමන් මැණික් ගැරීම් වැනි දේවල් ද වෙලා තියෙනවා. නමුත් සෝමාවතිය හා ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යාන සංචාරක කලාප විදිහට සංවර්ධනය කරලා පිවිසුම් මාර්ග සංවර්ධනය කරලා වනජීවී දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා නියාමනය යටතේ කෑම්පින් සයිට් එහෙම ලබා දීලා ප්‍රවේශ පත්‍ර මගින් සංචාරකයන්ට ඇතුලු වීමට අවස්ථාව ලබා දුන්නොත් ගොඩක් මේ වනජීවී කලාප වල තිබෙන අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් අඩුවෙයි. ඒක කරන්න පුළුවන් නම් හොදයි. අපි වනජීවි දෙපාර්තමේන්තුවටත් මේ යෝජනාව ඉදිරිපත් කරනවා.”යැයි පොලොන්නරුව වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂ කීර් ති චන්ද්‍රරත්න මහතා පැවසීය.

මේ අතර වනජීවී නිලධාරින්ගේ වෘත්තීය සංගමයක් වන අඩවි සහකාරවර වෘත්තිකයින්ගේ සංගමය ද ජල ගැලුම් නිම්නයත් සෝමාවතිය ජාතික උද්‍යානයත් සංචාරකයින් සඳහා විවෘත කිරීම සුදුසු බවට යෝජනා මාලාවක් ද ඉදිරිපත් කරන බව එම සංගමය ද කියා සිටියි.

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

Social Sharing
නවතම