දේශපාලන දිවියේ කටුක සිද්ධිය පාස්කු ප්‍රහාරය – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

තම දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය බවත් තමන්ට ඒ පිළිබදව ලොකු වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද  (17) පොලොන්නරුව බෞද්ධ සංගම් ශාලාවේ දී ‘විසදුමකට ජවයක් නව ඇරඹුමකට සවියක්’ තේමාව යටතේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ බලමණ්ඩල ශක්තිමත් කිරීමේ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ගොවීන්ගේ පොහොර ගැටලුව නිසා සමස්ත ගොවිජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවයි.

මාධ්‍යවේදීන්:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් තුමාටත් ඔබතුමාටත් කතෝලික ජනතාවටත් සාධාරණත්වය ඉටුවෙලා නෑ කියලා කියනවා. ඔබතුමාගේ අදහස මොකද්ද මේ ගැන?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා:

“පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රශ්නය ඉතාම සංකීර් ණ ඒක බොහොම දීර් ඝව කතා කළ යුතු දෙයක්. විශේෂයෙන් ම පාස්කු ප්‍රහාරය පිළිබදව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විසිගණනක් තිබෙනවා. ඒ නඩු තිබෙන්නේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්. ඒවගේම දිස්ත්‍රික් උසාවිවලත් නඩු රාශියක් පවතිනවා.

අධිකරණයේ පවතින කටයුත්තක් සම්බන්ධයෙන් මට කතා කිරීමට පුලුවන්කමක් නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. සියලු දෙනාට සාධාරණත්වය ඉෂ්ඨ  වියයුතුයි කියන ස්ථාවරයේ තමයි මමත් ඉන්නේ. මටත් ඒ පිළිබදව ලොකු වේදනාවක් තියෙනවා. මගේ දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය.

ඒ වින්දිතයින් මරණයට පත් වෙච්ච අය, ඒ පවුල්වල අය,ආබාධිතව සිටින අය මේ සියලු දෙනාට මගේ රජය යටතේ මියගිය එක්කෙනෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දියක් ලබා දුන්නා. ආබාධිතවෙලා තුවාල වෙලා ඉන්න අයට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි දුන්නා. ඒ විදිහෙත් අපි කටයුතු කළා. ඒ වගේම එම දේවස්ථාන සියල්ලම සම්පූර්ණයෙන් ම අලුත් වැඩියා කළේ ජනාධිපති ලේකම් කාර් යාලයේ මුදල්වලින්. කතෝලික ජනතාව සම්බන්ධයෙන් මගේ විශාල ගෞරවයක් ආදරයක් තිබෙනවා. ඒ නිසා ඒ සෑම කෙනෙකුට ම සාධාරණත්වය ඉෂ්ඨ  විය යුතුයි කියන තැන මම ඉන්නේ. මේ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට සම්පූර්ණයෙන් ම දඩුවම් දිය යුතුයි. ප්‍රහාරය එල්ල කළේ ත්‍රස්තවාදීන් නිසා. මීට වඩා යමක් කියන්න පුලුවන් කමක් නෑ.ශ්‍රේ ෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩු පවතින නිසා.

මාධ්‍යවේදීන්: පොහොර ප්‍රශ්නයේ දී ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ආණ්ඩුව මේ ගැන නම්‍යශීලි නොවන්නේ ඇයි.? ඔබතුමත් පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ගොවීන්ගෙන් චෝදනා එල්ලවෙනවා ආණ්ඩුවට විරුද්ධ නොවන්නේ ඇයි කියලා.?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා:

“පොහොර ප්‍රශ්නය පිළිබදව මම ප්‍රකාශ ගණනාවක් කර තිබෙනවා. ගිය අවුරුද්දේ මේ පොහොර ගෙන්වීම නැවැත්වීම පිළිබදව රජය නිවේදනය කළාට පස්සේ මම  ජනාධිපතිතුමා සමග මෙහි තිබෙන බරපතලකම සහ විශේෂයෙන් ම මේ නිසා ඇතිවන අනිසි ප්‍රතිපලය පිළිබදව පෞද්ගලිකවත් පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම අපේ පාර් ලිමේන්තු කණ්ඩායමත් රජය එක්ක කතා කරලා තිබෙනවා. ඒ වගේම අපි ලිඛිතව රජයට පොහොර ප්‍රශ්නය ගැන දැනුම් දීලා තිබෙනවා. ඒක නිසා ගොවීන්ට මේ පොහොර ප්‍රශ්නය නිසා ඇතිවෙලා තිබෙන තත්ත්වය රජයට දැඩි ලෙස පැහැදිලි කරලා තිබෙනවා .මේ තිබෙන අවාසනාවන්ත තත්ත්වය ඇතිවෙයි කියන එක අපි ගිය අවුරුද්දේ කියලා තිබෙනවා. නමුත් අද තිබෙන කණගාටුදායක තත්ත්වය ඇති වුනේ එහෙම කියලා තියෙද්දීයි. දැන් රජය පොහොර ගෙන්වීම කරනවා කියලා කියනවා. නමුත් අපට ඒ පිළිබදව තොරතුරු  නැහැ. ඉදිරියේ දී ඇතිවන තත්ත්වයන් අනුව තමයි කතා කරන්න වෙන්නේ. කොහොම වුණත් ගොවිජනතාව අන්ත අසරණභාවයට පත්වෙලා ඉන්න එක අපි කවුරුත් පිළිගන්නට ඕන .ගොවීන්ගේ අසරණකම අපි ජනාධිපතිතුමාටත් රජයටත් කියලා තිබෙනවා.”යැයි ද හෙතෙම පැවසීය.

ඊෂා  මුදියන්සේ -පොලොන්නරුව

Social Sharing
නවතම