හෙජාස් යනු අපෙන් එකෙකි… – අරුණි සමරකෝන්

මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මා විසින් හදුන්වා දෙනු ලබන්නේ සංකේතාත්මක සහ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වයේ සංයෝගයක් ලෙසය. තිස් අවුරුදු යුද්ධක් අවසන් ව 2009 දී හිටපු ජනාධිපති , වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතා ස්වාධිපත්ය ආයතනය වූ පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ  .ත්‍රස්තවාදීන් ට එදිරි යුද්ධය අවසන් බවත් ,එම මොහොතේ සිටම එක් පාර්ලිමේතුවක්, එක් ආණ්ඩු පරිපාලනයක් තුල රටේ පාලනය පවතිනු ඇති බවය (https://reliefweb.int/report/sri-lanka/sri-lankan-president-formally-announces-end-civil-war). එයට ඔල්වරසන්  දෙමින් විදි බට ජනයා, එම දේශපාලනික ආකෘතිය පිළිගනිමින් කිරිබත් උයා, රතිඤ්ඤ පත්තු කල බව අත් දැක්කෙමු සහ එය ඉතිහාසයේ සඳහන් විනි. නමුත් ත්‍රස්තවාදී නොඑසේනම් ත්‍රාසය (terror)භාවිතා කරමින් පාලනය ගෙන යාමේ යුගය අවසන් වීම 2009 දී නිශ්චිතව ම සිදු වුයේ ද යන්න නැවත සිතා බැලිය යුතුය. මන්දයත් එම සිතා බැලීම සමඟ මේ මොහොතේ ශ්‍රී ලංකා  දේශපාලනයේ ස්වභාවය වටහා ගැනීමට හැකිවන බැවිණි.

2019 පාස්කු ඉරුදින සිදුවන ත්‍රාසය හරහා දේශපාලනය කිරීම හෙවත් අන්තවාදී  ආගමික සාමුහිකය නියෝජනයක් විසින් කතෝලික දේවස්ථාන වෙත මරාගෙන මැරෙන ප්‍රහාර  මාලාවක් එල්ල කරන ලදී. මෙම ප්‍රහාර වෙත ප්‍රතිචාර දක්වමින්, සංවිධානාත්මක කණ්ඩයාම් කිහිපයක් විසින් පශ්චාත් පාසුකු ප්‍රහාර මාලාවක් ද සිදුකරන ලදී. මුස්ලිම් වීම හේතුවෙන් ම මෙම ප්‍රහාර මාලාවේ වින්දිතයන් බවට බොහෝ දෙනෙකු පත් විය. ඒ වන විට ද ත්‍රාසය සමඟ මුසු වූ මුස්ලිම් විරෝධී වාර්ගික දේශපාලන දෘෂ්ටිවාදය දෛනික ජීවිතය තුල මුණ ගැසුණි. වඳ පෙති, වඳ ඇඳුම් , පිළබඳ විද්‍යාත්මක ව සනාථ නොකරන ලද ප්‍රකාශන හරහා මෙරට දෛනික ජීවිතයේ සහජිවන පැවැත්ම තර්ජනයකට ලක්විය. එහිදී රාජ්‍ය හෝ  අධ්‍යාපන, සෞඛ්‍ය හෝ මාධ්‍ය වැනි එහි අනුබද්ධ ආයතන ද නිහඬ භූමිකාවක් පවත්වා ගනිමින් මෙම ත්‍රාසය සමඟ වූ දේශපාලනය තවදුරටත් වර්ධනය වීමට අවකාශය සලසන ලදී. මෙහි දැඩිම අවස්තාවක් නම් සිංහල -බෞද්ධ මවුවරුන් වන්ද්‍යකරණය කිරීම නැමති  පදනම් විරහිත චෝදනාවක් එල්ලවන අවස්ථාවේදී ද සෞඛ්‍ය සේවා වෘත්තීයවේදීන්  ඒකීය ස්ථාවර පැහැදිලි කිරීමක් සිදු නොකිරීමය.

මෙවැනි පසුබිමික දේශපාලනය වර්ධනය වීම මා විසින්  හදුන්වා දෙනු ලබන්නේ ත්‍රාසය මතුකර එයින් ස්ත්‍රී / පුරුෂ පුරවැසියා ආරක්ෂා කිරීමේ පරම හැකියාව සහිත වන ශක්තිමත්, බලය කේන්ද්රිය ආණ්ඩුවක් බිහිවීමත් , එම ආණ්ඩුව විසින් නම් කරන ඕනෑම අවස්ථාවක් , සිදුවීමක් ‘අනාරක්ෂණයෙන් ආරක්ෂාවීම’ යන ලේබලය තුලට ගෙන ඒමත් සමඟ පුරවැසියා ගේ නිදහස සහ අයිතීන් රාජ්‍ය ආරක්ෂාව නමැති මකර කට තුල ගිලියාමේ ගැටළුවයි. මේ අනුව මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය රාජ්ය ආරක්ෂාව නමැති ‘වේලය’ (veil) තුල සැඟවෙන අතර  එම වේලය මගින් ව්‍යුහාත්මකව සහ සංකේතාත්මකව සිදුවන ප්‍රචණ්ඩත්වයන් වසා දමා තිබෙන බව මගේ යෝජනාව වේ.  එදා ත්‍රාසයෙන් තොරව ජිවත් වීමක් අපේක්ෂා කරමින් විදි බටව තම සතුට ප්රකාශ කළ පුරවැසියා ගේ (ස්ත්රී / පුරුෂ ) සිට,මුස්ලිම් වර්ජනය සිදුකරමින් සිංහල -බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් සිහින මැවූ සියලු පාර්ශව රාජ්‍ය ආරක්ෂාව නමැති වේලය තුල සිදුවන ප්‍රචණ්ඩකාරී මර්ධනය ට මුහුණ දෙමින් සිටි.

එහි එක් අඛ්යානයක් නම් හෙජාස් හිස්බුල්ලාය. හිස්බුල්ලා යන නාමය ශ්‍රවණය වූ විට ත්‍රාසයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් වේලයෙන් වසා මර්ධනය පවත්වා ගනු ලබන ආණ්ඩුව වෙත සහයෝගය දීමට රුචි බවට වූ ජන විඥානයක් ගොඩ නැගීමේ ඛේදවාචකය තව දුරටත් පැහැදිලි කිරීම වෙනුවෙන් මෙය ලියාතබමි.

“ශ්‍රී ලංකා නීතිඥයන් ගේ සංගමයේ නිලවරණය වෙත සාලිය පිරිස් ඉදිපත් වන විට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් නම්, හෙජාස් හිස්බුල්ලා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමය. සාලිය කලේ ඔහුගේ වෘත්තීයය. හැබැයි එම වෘත්තීය පෙනී සිටීම පවා වාර්ගික ප්‍රවේශයකින් පෙන්වා දෙමින් නීති වේදීන් ගේ මැතිවරණයේ දී සාලිය වෙත ද්‍රෝහිත්වයක් ආරෝපණය කර තිබුණා  ” යැයි මාගේ මිතුරෙකු වූ දුලාන් දසනායක පැවසුවේ හෙජාස් පිලිබඳ කරන ලද කරුණු සොයා බැලීමකදීය.  මෙම අඛ්යානය හරහා පැහැදිලි වූ කරුණ නම් , හෙජාස් වෙනුවෙන් නීතිඥ සහය ලබා දීමද රාජ්‍ය ආරක්ෂාව තර්ජනයකට ලක් කිරීමක් ලෙස අර්ථ කථනය කරමින් යම් සමුහයක් දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් ප්‍රයන්තන දැරීම ම  ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරා දේශපාලනයේ කෙන්ද්‍රීයම සාධකයක් වීමය.

වාර්ගික අනෙකා රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වීම යන දේශපාලන විඥානය තව දුරටත් තේරුම් ගත හැකිවන්නේ , හෙජාස්ව අත්අඩංගුවට ගැනීමේ දී අනුගමන කරන ලද අශිෂ්ටචාර ක්‍රියා පටිපාටිය විමර්ශනයන කිරීමෙනි . එය පුනර් ප්රකාශනයක් කල යුතුවන්නේ , එයින් නිරුපණය වන ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය වටහාගැනීම උදෙසාය.

“ ගෝලීය covid 19 මාරාන්තික වසංගතය තුල ද ඒ වන විට ශ්‍රී ලංකික සිංහල සහ දෙමළ ප්‍රජාව අළුත් අවුරුදු සැමරුම් වෙනුවෙන් සුදානම් වෙමින් සිටියෝය.  මෙම කාලයේ ජේෂ්ඨ නීතිවේදියකු සහ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාදරයකු වූ හෙජාස් හිස්බුල්ලා වෙත අසාමාන්‍ය දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ සෞඛ්ය අමාත්යංශය ලෙස සඳහන් කරමිනි. එම ඇමතුමට අනුව හෙජාස් covid 19 ආසධිතයකු ගේ ආශ්‍රිතයකු ලෙස ඇමතුම ලබාදුන් පුද්ගලයා හදුන්වා දී ඇති අතර, ඒ හේතුවෙන් නිවසේ රැඳී සිටින ලෙසට උපදෙස් ලබාදී තිබේ.  මෙම ඇමතුම ලැබෙන අවස්ථාව වන විට ඔහු ගේ ද දායකත්වයෙන්,  covid 19 ආසාධිතව මිය යන මුස්ලිම් ජනයා භූමදානය කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව වෙතින්  ඉල්ලා තිබුණි. එම ඉල්ලීම විස්තර වුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් මුස්ලිම් ප්‍රජාවගේ ආගමික අයිතිය සුරක්ෂණය කරන ලෙසය.  මේ වන විට ලෝක සෞඛ්ය සංවිධානයේ ද මාර්ගෝපදේශනය වුයේ covid 19 අසාධිත්ව සිදුවන මරණ භූමදානය හෝ ආදානය කිරීම ගැටලුවක් නොවන බවය” (Amnesty International, 2020).

“සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලඳ පණිවිඩයට අනුව හෙජාස් වෙත පැමිණිය යුතු අදාළ නිලධාරින් වෙනුවට අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ  කණ්ඩයමක් පැමිණ, හේතු දැක්වීමකින් තොරව හෙතෙම අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම පිලිබඳ විමසිලිමත් වූ ඔහුගේ ඥාති න් වෙත අනතුරු හැඟීමක් ද සිදු කර තිබුණි. කිසිදු නීතිමය ලේඛනයක් නොමැතිව පැමිණි එම පුද්ගලයන් විසින් හෙජාස් ගේ කාර්යාලයේ තිබු පෞද්ගලික උපාංග වූ ලිපිගොනු, laptop පරිගණක එකඟත්වයකින් තොරව  අවුස්සා තිබු අතර ඔහුගේ දුරකථනයේ වූ අංක වෙත ඇමතුම් ලබා ගන්නා ලෙසට බල කර තිබුණි. දිස්ත්‍රික් අධිකරණයේ  ඒ වන විට ද විභාග වෙමින් පැවති යුසෆ් මොහොමඩ් ඉබ්රහම් ගේ නෛතික ලිපි ගොනු හෙජාස් ගේ කාර්යාලයෙන් ලබාගත් පසුව, හෙජාස් ද කැටුව මෙම නිලධාරින් පිටව ගොස් තිබුණි. ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබාගැනීමේ නියෝගය මත හෙජාස් මේ වන විට ද බන්ධනාගාරගත කර ඇත. (Amnesty International, 2020).

හෙජාස්ව අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියම ව්‍යුහාත්මක සහ සංකේතාත්මක ප්‍රචණ්ඩත්වයේ රාජ්‍ය භාවිතාවකි. මේ ගෙවෙන මොහොතේ පාසුකු ප්‍රහාරය වෙනුවෙන් නඩු පැවරීමට කටයුතු කලද හෙජාස් එම නඩු ක්‍රියාවලිය තුල චෝදනාකරුවකු කර නොතිබේ. ඒ වෙනුවෙන් වූ චෝදනා ඔහු වෙත ලබා දීමට කටයුතු කර නැත. එසේම මෙම අත් අඩංගුවට ගැනීමේ දී කිසිදු නීතිමය ලියවිල්ලක් නොමැතිව අත්තනෝමතිකව රාජ්‍ය යාන්ත්රණය හැසිරී ඇත. තමාව අත් අඩංගුවට ගනු ලබන හේතු සාධකය හෝ පැහැදිලි කර නොමැති අතර හෙජාස් ව නොමඟ යවමින්, මාරාන්තික වසංගතයක ආශ්‍රිතයකු ලෙස හගවමින් කටයුතු කිරීම සිහි කැඳවනුයේ, යුද්ධයේ දී මෙම රාජ්‍යය හැසිරුණු අශිලාචාරබවමය.

එහිදී, පහර නොදිය යුතු කලාප ලෙස මෙම රාජ්ය විසින්ම නම් කරමින් පසුව එම  කලාප එල්ල කර ප්‍රහාර එල්ල කිරීම සිදුකළ රාජ්‍යයක් මෙසේ හැසිරීම පිලිබඳ ව පුදුම විය යුතුද නැත. එහෙත් එසේ හැසිරීමේ දේශපාලනික අයිතියක් රාජ්‍ය වෙත ලබා නොදිය යුතුය. හෙට දින පැමිණ, ඔබගේ නිවස, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකමින්, සෝදසි කර, මෙය කියවන ඔබව අත් අඩංගුව ට නොගනී යනුවෙන් කිසිදු සහතිකයක් මෙම රාජ්ය විසින් සපයා දී නොමැත. නන්දිකඩාල් හිදී මෙන්ම දේවස්ථාන තුලදී ද ඔබගේ ජීවිතය අනාරක්ෂිත කිරීමේ හැකියාව, විශාල බලයක් ලබාගත් වාර්ගික ආණ්ඩුවවලට හැකිබව මතකයේ තබාගත යුතුය. එසේම එම ජිවිත විනාශ, ත්‍රස්තවාදය ට එරෙහි යුද්ධක් ලෙස හෝ, රාජ්ය ආරක්ෂාව වෙනුවෙන් වූ ක්රියාවලියක් ලෙසද යුක්ත යුක්ත කිරීමට මෙම රාජ්ය කටයුතු කරනු ඇත.

එසේම හෙජාස් ගේ අඛ්යානය සමඟ එළිදරව් වන තවත් කරුණක් නම්, අත්අඩංගුවේ සිටින රැඳවියන් වෙත රාජ්‍යය, මාරාන්තික වසංගතයක් අවස්ථාවකදී දක්වන ලද ප්‍රචණ්ඩත්වය වේ. එහිදී රැදවියන් සමඟ සම්බන්ද වීමට ඇති නිදහස අවම කරමින් ද, ඔවුන් වෙත අවශ්‍ය වන වෛද්‍ය උපදේශන ලබාදීම සිමා කරමින්ද ඉතාම අමානුෂික මර්ධනයක් සිදුවීමට රාජ්‍යය විසින් ඉඩ ලබා දෙන ලදී. හෙජාස් ද එම මර්ධනයේ එක් වින්දිතයෙක් විය.

මෙම ලිපිය අවසන් කරමින්, මා පවසා සිටින්නේ, මේ මොහොතේ පවතින වාර්ගික දේශපාලන සමඟ බැදෙන රාජ්ය ආරක්ෂාව ශ්‍රී ලාංකික සියලු පුරවැසියන් ගේ ජිවිත අනාරක්ෂිත කර තිබෙන බවය. එසේම එම ආරක්ෂාව විසින් පුරවැසියන් ගේ මුලික අයිතිවාසිකම් ඉතා දැඩිව උල්ලංඝනය කර තිබෙන අතර එම පුරවැසි කාණ්ඩය ට අයත් රැදවියන් ගේ ඉරණම සහ අයිතීන් වර්ගවාදය සහ රජ්‍ය ආරක්ෂාව විසින් තීරණය කිරීම බරපතල ඛේදවාචකයකි. එසේම රාජ්‍ය ආරකෂාව යටතේ ව්‍යුහාත්මක සහ සංකේතාත්මක ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට ඉඩ ලැබීම සහ එය රාජ්‍ය ආරක්ෂාව වේලයෙන් වසා තැබීම වෙත ද අප සැලකිලිමත් විය යුතුය. මෙම මර්ධනයේ දී හෙජාස් යනු හුදෙක්ම එක් පුද්ගලයකු නොව ශ්රී ලාංකිකයන් සැමගේම නියෝජනයක්වන බව ද තේරුම් ගැනීම වැදගත් වේ.

අරුණි සමරකෝන්

Social Sharing
නවතම විශේෂාංග