අලි ගැසට්ටුවට නිසා වනජිවි සංරක්ෂණයට දැඩි බලපෑම්!

වනජීවී භාරයේ සිටි හීලෑ අලි ඇතුන් නැවතන් හිමිකරුවන් ට භාර දීම සහ හීලෑ අලි ඇතුන් ලියාපදිංචියට නිකුත් කළ ගැසට් නිවේදනය හේතු කොටගෙන වනජීවී සං‍රක්ෂණයට දැඩි බලපෑම් එල්ලවන බව වනජීවී අඩවි සහකාරවර වෘත්තිකයින්ගේ සංගමය  පවසයි.

එමෙන්ම මෙය වන සත්ත්ව හා -වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට පටහැනි බවත් වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ මෙම නිවේදනය හේතුවෙන් ව්‍යාජ තොරතුරු මත පදනම්ව බලපත්‍ර නොමැති හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම ට අවසර දීමෙන් දඩුවම් ලැබිය හැකි වරදක් සිදුවන බවත් වනජීවී අඩවි සහකාරවර වෘත්තිකයින්ගේ සංගමය  වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

වනජීවී භාරයේ සිටි හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ට භාර දීම හා නැවත ලියාපදිංචිය පිළිබදව නිකුත් කළ ගැසට් නිවේදනයෙන් වනජීවීන්ට සිදුවන බරපතල අගතිය පිළිබදව කරුණු දක්වමින් 2021සැප්තැම්බර් 11 දා තමින් යොමු කළ මෙම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට,වනජීවී සං‍රක්ෂණ අමාත්‍යංශ ලේකම්,පරිසර අමාත්‍යංශ ලේකම් ,ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සහ වනජීවී දෙපාර් තමේන්තුවේ සියලුම වෘ ත්තීය සංගම් වෙත මෙම ලිපිය යොමු කර ඇත.

එම සංගමයේ ලේකම් ඩබ්.ඩබ්.ඩී වීරසේන මහතාගේ අත්සනින් යොමු කළ ලිපියේ මෙසේද සදහන් වේ.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ  සංශෝධන ප්‍රකාරව 2009 අංක 22 අ (1) වගන්තිය ප්‍රකාරව බලපත්‍ර  නොමැතිව හා ලියාපදිංචි නොකළ අලින් සංතකයේ රදවා සිටීම නිසා අත් අඩංගුවට ගැනීම හා නීතිමය තත්ත්වය හා  බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් ඔබ තුමාට අවබෝධයක් ඇතැයි සිතමු. එමෙන් ම 1992 හා 1994 වසරෙන් පසු හීලෑ අලි ඇතුන් ගෙන් අලි පැටවුන් ඉපදීමක් වාර් තා වූ බවට කිසිදු තොරතුරක් නොමැති බවද අප  සංගමයට තහවුරු කර ගැනීමට හැකි වී ඇත.

ඒ අනුව මෙම අලි ඇතුන් අත් අඩංගුවට ගනු ලැබුවේ නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව බවත් 2009 සංශෝධිත ආඥා පනතේ 22 අ (12) වගන්තිය ප්‍රකාරව එම වන අලින් නිත්‍යානුකූල බලයක් හෝ අනුමැතියක් නොමැතිව අල්ලාගනු ලැබූ ලෙස හා 1982 අංක 12 දරන පොදු දේපලවලට එරෙහි වරද එම අලි ඇතුන් සම්බන්ධයෙන් අදාළ විය යුතු බව ද සදහන් වේ.මෙසේ තිබිය දී මාස 3ක් ඇතුළත අලි ඇතුන් ලියාපදිංචි කළ යුතු බවට දක්වා ඇත.

එහි ම පැහැදිලිව ම දක්වා ඇත්තේ ව්‍යාජ තොරතුරු සපයන සෑම තැනැත්තෙක් ම මෙම ආඥා පනත යටතේ වරදක් කරන බවයි. එම පනතේ 59 වන වගන්තිය අනුව එවැනි වරදක් සිදු කිරීමට තැත් කරන හෝ අනුබල දීම හෝ වරදක් බව සදහන් වෙයි. එබැවින් වැරදි තොරතුරු මත වන අලියෙකුට  බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් වගකිව යුතු සියලු තැනැත්තන් වරදකරුවන් වන බව සදහන් වේ.

ඊට මෙම සංගමය තව දුරටත් පෙන්වා දෙන්නේ 2009 සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 22 අ (6) ප්‍රකාරව වන අලියෙකු විකිණීමක් ,තෑගි දීමක් පැවරීමක් සිදුවන අවස්ථාවල දී ඒ පිළිබදව පහළ නිලධාරින් අධ්‍යක්ෂ ජනරාල් වෙත නොපමාව දැනුම් දියයුතු  බවත් ඒ අනුව මෙම හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් එවැනි තොරතුරු ලැබී තිබේදැයි සොයා බලන ලෙසත්ය.

එමෙන් ම මෙම ගැසට් නිවේදනයෙන් වනාන්තරවල වෙසෙන ඇතුන්ගේ දළ කපා ගැනීමට අනියමින් සහාය ලබා දෙන බවත් එසේ වනාන්තරවල අලි ඇතුන් ඝාතනය කිරීමෙන් පමණක් දළ කපා ගැනීමට හැකි අතර අලි ඇතුන් ඝාතනයට ද අනියමින් ඉඩ සැලසී ඇති බවත් හීලෑ අලි ඇතුන්ගේ දළ කැපීමක් තම සංගමය වෙත මෙතෙක් වාර් තා වී නොමැති බව පෙන්වා දෙන එම සංගමය මෙම ගැසට් නිවේදනයෙන් වනාන්තරවල වෙසෙන අලි ඇතුන්ගේ ජීවිතවලට බලවත් තර් ජන එල්ල වන බවද පෙන්වාදෙයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම හීලෑ අලි ඇතුන් රජය භාරයේ සිටිය දී හා රජයේ දේපලක්ව තිබියදී යලි හිමිකරුවන්ට පැවරීම සම්බන්ධයෙන් ගත හැකි වෙනත් නීතිමය ක්‍රියාමාර් ග සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කරන ලෙසය. එසේ නොවුන හොත් සමස්ත වනජීවී සං‍රක්ෂණයට ම එයින් දැඩි බලපෑම් එල්ලවිය හැකි බවද ඔවුන් යොමු කළ එම ලිපියේ සදහන් වේ.

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Social Sharing
නවතම විශේෂාංග