දවසකට හාල් කිලෝ ලක්ෂ 65 ක් අවැසි රටකට හදිසි නීතිය පෙන්වා රැගෙන ගියේ හාල් කිලෝ 6-7 ක්ද?

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 500ක් ලබා දී වසරකටත් වැඩි කාලයක් ගතව ඇතත් එක හාල් ඇටයක්වත් වේයන්ගොඩ ගබඩාවට ගෙනැවිත් නැති බවත්  පොලොන්නරුවේ පෞද්ගලික අංශයේ වී මෝල් වැටලීමට පෙර රාජ්‍ය අ අංශයේ වී අලෙවි මණ්ඩලයත්, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවත් , සමුපකාර දෙපාර්තමේන්තුවත් වටලා භාණ්ඩාගාරයෙන් දුන්න මුදල් වලට  ගත්ත වී ටික කාටද වික්කේ කියා සොයා බලන ලෙස එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි.

හදිසි නීති රෙගුලාසිය භාවිත කරමින් අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්, පාරිභෝගික අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් ඒ වගේ ම පොලිසිය ඇතුළු මහා පිරිසක් පොලොන්නරුවේ වී මෝල්වලට ගිහිල්ලා ඒවා වටලා සතොස ආයතනයේ ලොරි විශාල ප්‍රමාණයක් අරගෙන ඇවිත් මහා ලොකු යුද්ධයක් පොලොන්නරුවේ දී සිදු කළ බවට ඔහු චෝදනා කර සිටියි.

මහා පරිමාණ මෝල් ටික වටලා  හාල් හැංගුවා කියා චෝදනාවක් කර  ලංකා සතොසේ තිබුණ ලොරි රථ ටික අරං ඇවිත් ඒවට බදු සල්ලිවලින් තෙල් ගසා නිලධාරීන්  විශාල සංඛ්‍යාවක් ආව වාහන වලට තෙල් ගසා පැය විසි හතරක පොඩි සන්දර්ශනයක් දාලා අවසානයේ අරන් ගියේ හාල් කිලෝ ලක්ෂ 6ක් 7ක් බවද ඒ් මහතා පවසයි.

රටේ මිලියන 22ක් වෙන ජනතාවට දවසකට බත් කන්න හාල් කිලෝ ලක්ෂ 65ක් ඕන බවත් මේ ආපු අයට අඩුම ගාණේ එක වේලක්වත් රටට කන්න දෙන්න සහල් ගෙනියන්න පුලුවන් වුණාද ? හදිසි නීතිය යොදාගෙන , බලහත්කාරය පාලත් එක වේලකට කන්න දෙන්න හාල් ගන්න පුලුවන් වුණාද.? යැයි ඔහු රජයෙන් විමසා සිටියි.

අත්‍යවශ්‍ය ආහාර කොමසාරිස් හා පාරිභෝගික අධිකාරිය එක්ව පොලොන්නරුවේ වී මෝල් වටලා සහල් තිග ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඊයේ (09) සවස ඔහු මේ බව පැවසුවේ ය.

ඊෂා  මුදියන්සේ

Social Sharing
නවතම