කොවිඩ් නිසා ව්‍යාපෘති 221 ක් ඇණ හිටලා – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති රුපියල් බිලියන එකක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 221 ක ප්‍රමාණයක් කොරෝනා වසංගතය නිසා ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ නිසා ඇණ හිට ඇති සංවර්ධන  ව්‍යාපෘති යළි ආරම්භ කිරීම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයි ද එම ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කිරීම පිළිබඳව පසුගිය දිනවල සාකච්ඡා වූ බව  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගතයේ හමුවේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය පදනම් කර ගනිමින් ඇතැම් කූට ව්‍යාපාරිකයන් පාරිභෝගික ජනතාව සූරාකෑම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කිරීමට රජය ක්‍රියා කළ බවද ඒ් මහතා පවසයි.

හදිසි නීතිය යටතේ ඔහු පත් කිරීම තුළින් වංචා සහගත ව්‍යාපාරිකයන්ට රැසකගේ තොග  සාමාන්‍ය වෙළඳපලට මුදාහැරීමට රජයට හැකි වුනු බව ද අමාත්‍යවරයා කියා සිටියි.

යුද්ධය පැවති අවස්ථාවලදී පවා උතුරට අවශ්‍ය ආහාර බෙදා හැරීම විධිමත් කිරීමට  අයුරින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයෙකු පත් කිරීමට එවකට රජය ක්‍රියා කළ බවත් අමාත්‍යවරයා සිහිපත් කර සිටියේය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ කොටස් හිමි විශ්‍රාමික කාර්ය මණ්ඩල සඳහා  සිය කොටස් සඳහා ප්‍රතිලාභ ප්‍රදානය කිරීම නිමිත්තෙන් මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේ අද (10) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම