පාස්කු ප්‍රහාරය ගැන පැවසීමට කියා ගිය අගමැති පාප් වහන්සේ හමු නොවෙයි!

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සැප්තැම්බර් 8 බදාදා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් චෝදනා කර සිටියේ අගමැතිවරයා සහ විදේශ කටයුතු  අමාත්‍යවරයා වතිකානවේ  සංචාරයක යෙදී පාස්කු ප්‍රහාරය  සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් සත්‍ය යටගැසීමට සැරසෙන බවකි.

“අගමැතිතුමාත්, විදේශ කටයුතු ඇමැතිතුමාත් ඔවුන් සමග යන කණ්ඩායමත් මේ යන ගමන අපි ප්‍රයෝගකාරී ගමනක් ලෙස හදුන්වනවා. ඒවගේම එම වැඩ පිළිවෙළ මම තරයේම හෙලා දකිනවා.”

අගරදගුරුගේ ප්‍රකාශයට  පෙරදා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, පාස්කු  ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධ ප්‍රගතිය ෆ්‍රැන්සිස් පාප් වහන්සේට වාර්තා කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය ජී ඇල් පීරිස් වතිකානය බලා යන බවය.

එම සංචාරය විදේශිය රටවල් මෙන්ම ශුද්ධෝත්තම පාප් වහන්සේ  පවා නොමග යැවීම සඳහා “සත්‍ය යට ගැසීමට රජය ගෙන යන ව්‍යාපාරයේ තවත් එක් තුරුම්පුවක්” ලෙසින් කාදිනල් හිමියන් දැඩි ලෙස හෙලා දැක තිබුණි.

” මේ රජය පරීක්ෂණ යට ගහන උත්සාහයක් විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමක් අපට පෙනෙන්නට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට කටයුතු කළා. ”

කතෝලික සභාව ඇතුළු ජාත්‍යන්තරයට බොරු කීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවට රජයට චෝදනා කරන  කාදිනල් හිමියන්ගේ දැඩි වාග් ප්‍රහාරයෙන් පැය කීපයක් ගතවෙත්ම  විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අගමැතිවරයා ස්වකීය ඉතාලි සංචාරයේදී පාප් වහන්සේ මුණ ගැසෙන්නේ නැති බවය.

අගමැති, විදෙස් ඇමැති දෙදෙනාගේ සංචාරයේ අරමුණ බොලොඤ්ඤා නුවර සමුළුවක සමාරම්භක උත්සවයකට සහභාගී වීම පමණක් බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කරන ලදි.

 

Social Sharing
නවතම