පාරිභෝගික වැටලීම් සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් යොදා ගන්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්න -ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය

අභ්‍යාසලාභී උපාධිධාරින් පාරිභෝගික අධිකාරියේ වැටලීම් සඳහා  අද (08) සිට යොදාගැනීමට රජය තීරණය කර ඇත.

වසරක පුහුණුවකින් පසු ස්ථිර කරන බවට පවසමින් වත්මන් ආණ්ඩුව අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනුණි. ඔවුන්ගේ  පුහුණු වසර සැප්තැම්බර් 2 දිනට අවසන් විය. මෙතෙක් එම අභ්‍යාසලාභීන් ස්ථිර කිරීම සම්බන්ධ ප්‍රකාශයක් සිදු කර නැත.

එවැනි තත්ත්වයක් යටතේ අභ්‍යාසලාභී උපාධිධාරින් පාරිභෝගික අධිකාරියේ වැටලීම් සඳහා යොදාගැනීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ, ලේකම්, ධම්මික මුණසිංහ මහතා  නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ආණ්ඩුව හදිසි නීති ගැසට් ඉදිරිපත් කරමින් මේ කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරින් ජනතාව අතර තවදුරටත් අප්‍රසාදයට පත් කිරීමක් බවය.

පසුගිය වසංගත කාලය පුර අභ්‍යාසලාභී උපාධිධාරීන් පාසල්වල online ඉගැන්වීම් කටයුතු සිදු කළ අතර සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලවල දින 7ම සේවය කළ බවත් සංචරණ සීමා පනවා ඇති මේ මොහොතේ පවා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්ත අභ්‍යාසලාභී උපාධිධාරීන් දින 5ම සේවයට කැඳවමින් ඇතැයිද ඔහු කියා සිටියි.

ඒ සියල්ල සිදු කරනුයේ රුපියල් 20000ක උපරිම දීමනාවක් ලබමින් වන අතර  අවම සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කර ලබාදුන් රුපියල් 7500 අවදානම් දීමනාව පවා සෞඛ්‍ය කාර්‍යාලවල සේවය කරන අභ්‍යාසලාභීන්ට ලබා දුන්නේ නැති බවද පෙන්වා දෙයි.

එසේ තිබියදී ඊයේ (07) දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මට්ටමින් අභ්‍යාසලාභී උපාධිධාරීන් කැඳවා අද (08) දින සිට පාරිභෝගික අධිකාරියේ වැටලීම් සඳහා සම්බන්ධ කරවීමට තීරණය කර ඇතැයි පවසන ධම්මික මුණසිංහ මහතා පවසන්නේ  ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සිදුකරන මෙවැනි බාල ක්‍රියාවන් පිළිකුලෙන්  හෙළාදකින බවත් සියලු අභ්‍යාසලාභීන් වහා ස්ථිර කරන ලෙසත්ය.

මුල්කාලයේ හමුදාව යොදවා කිරීමට ගිය, මේ ක්‍රියාවලිය අදාළ පුහුණුවක් හෝ නොලද අභ්‍යාසලාභී උපාධිධාරීන් පිට පටවා ඇතැයිද  මේ ක්‍රියාවලිය තුළ එක් අභ්‍යාසලාභී උපාධිධාරණියකට හෝ උපාධිධාරියකුට යම් කරදරක් සිදු වුවහොත් ඒ සියලු වගකීම ආණ්ඩුව බාරගත යුතු බවද මෙම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ශානි

Social Sharing
නවතම