හදිසි නීතිය ඒ්කාධිපති යුගයකට මුල පිරීමක් – විපක්ෂය

වසංගතය පාලනයේ මුවාවෙන් හදිසි නීතිය පනවා ආණ්ඩුව උත්සාහ කරන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති යුගයකට මුල පිරීමට යැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වැරදි ආර් ථික  පිළිවෙත් සහ දූෂණ වංචා හේතුකොටගෙන අසමත් භාවය වසා ගැනීම සඳහා ආණ්ඩුව විසින් මහජන ආරක්ෂක පනත  ප්‍රකාශයට පත් කර ඇති බව ඔහු කියයි.

“හදිසි නීතිය දැම්මාම වැක්සින් ප්‍රමාණය වැඩිවෙනවද, ආසාදිතයන් අඩුවෙනවද, මරණ සංඛ්‍යාව අඩුවෙනවද? යි වීඩියෝ නිවේදනයක් නිකුත් කරමින් ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියි.

“ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කරලා රජයට රිසිසේ මෙරටේ ප්‍රතිවාදී මතයන් දරන විපක්ෂය කෙසේ හෝ මර්දනයෙන් කළමනාකරණය කර ගැනීමටයි උත්සාහ කරන්නේ. හදිසි නීතිය ගෙනවිත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති යුගයකට මුල පුරන්ඩයි උත්සාහ කරන්නේ”

2006 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතේ විධිවිධාන වසංගත පාලනය සඳහා ප්‍රමාණවත් බවත් ඔහු පෙන්වා දෙයි.

මිල පාලනයක් පවත්ගෙන යමින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා රටේ සාමාන්‍ය නීතිය සෑහෙන  බව ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ආණ්ඩුව සැලසුම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන් දඩයම් කිරීමේ වෑයමක් ලෙසටය.

මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත්  මද්දුම බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුනේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය පනත භාණ්ඩ මිල පාලනය සඳහා ප්‍රමාණවත් බවය.

ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම ඒකාධිපතිවාදය කරා යාම සඳහා සිදුකරන ලද ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙසය.

සෞඛ්‍ය ආරක්ෂණය සදහා අලුතින් පොදු නීතියක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති  කෙටුම්පත සම්මත නොකර මර්දනකාරී අනපනත් ක්‍රියාවේ යෙදවීම ගැන ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ ද දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබුණි.

එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් ඉදිරිපත් කොට තිබෙන එම කෙටුම්පත මහජන සෞඛ්‍ය ආරක්ෂක තත්වයක් ප්‍රකාශ කිරීමට, මහජන සෞඛ්‍යය සඳහා විශේෂ පියවර ගැනීමට සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදාගත හැකි පනතක් ලෙස  හඳුන්වා දී තිබේ.

Social Sharing
නවතම