දේශබන්දුලාගේ පාස්කු කන්නලව්ව සර්වාගමික දෝෂාරෝපණයට ලක් වේ!

සියගණනකට මරු කැඳවූ පාස්කූ ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු බවට ජනාධිපති කොමිසමකින් නම් කොට ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ ජාතිවාදී හා ආගම්වාදී මගකට තල්ලු කරන්නට උත්සාහ කරන බවට සර්වාගමික නායකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

“පාස්කු ප්‍රහාර විමර්ශන කොමිෂන් සභාව විසින් නම්කොට නිර්දේශ ඉදිරිපත් කර ඇති ඇතැම් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මෑතකදී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකින් පෙනී ගියේ ඔවුන් සිංහල බෞද්ධයන් වීම නිසා ඔවුන් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කිරීමට සැරසෙන බවයි,” යනුවෙන් කතෝලික, බෞද්ධ, හින්දු හා ඉස්ලාමීය ආගමික නායකයන් විසින් අගෝස්තු 24 නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි.

ප්‍රහාරයට වගකිව යුතු බවට නම්කෙරෙන නිලධාරීන් පිරිසක් සමග මහනාහිමිවරුන් මුණගැසුණු  නන්දන මුණසිංහ හා දේශබන්දු තෙන්නකෝන් යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ප්‍රශ්න කර තිබුනේ එම  අපරාධ චෝදනාව තමන්ට එල්ලවී ඇත්තේ තමන් සිංහල බෞද්ධයන් නිසාද යන්නයි.

එම ප්‍රකාශය “පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් ගැබ්ව ඇති බව පෙනෙන්නට ඇත,” යි පවසමින් සර්ව ආගමික නායකයන් සිය මාධ්‍ය නිවේදනයෙන් හෙලා දැක තිබේ.

“එවැනි අන්තවාදී ප්‍රකාශ හමුවේ නොසලී පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු දේශපාලන බලපෑම් වලින් තොරව සාධාරණව හා විනිවිද භාවයෙන් සිදුකරන ලෙස අදාළ බලධාරීන්ගෙන් අපි අවධාරණයෙන් ඉල්ලා සිටිමු.”

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ සාමාජික සිරිල් ගාමිණි ප්‍රනාන්දු සහ අගරදගුරු පදවි ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමන්ද, කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක හා කොළඹ නව කෝරලේ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක පරකඩුවේ සරණංකර, බියගම ත්‍රෛනිකායික භික්ෂු බලමණ්ඩලයේ ලේඛකාධිකාරී බෙලිගල අමරසිරි හිමිවරුන්ද, පෙරියමුල්ලේ ෂෙයික් අබ්දුල්ලා අබ්දුල් රාමන් සහ මීගමුව අධිකරණ ප්‍රදේශය බාර මෞලවි මොහොමඩ් මුහජරීන් යන ඉස්ලාමීය නායකයන්ද, ශ්‍රී ලංකා හින්දු කුරුක්කල් පූජක සංගමයේ ලේකම් ශිවශ්‍රී ආර් දර්ශක ෂර්මා සහ එම සංගමයේ සාමාජික වෛතීශ්වර යන සර්වාගමික නායකයන් නිවේදනයට අත්සන් තබා ඇත.

නිල ඇදුමින් සැරසී රජයේ වාහන වලින් තම බල ප්‍රදේශයෙන් පිටතට ගොස් නාහිමිවරුන් හමුවී මාධ්‍ය ඉදිරියේ අදහස් පළකරමින් දැඩි විනය හා සදාචාර විරෝධී ක්‍රියාවක් කළ උසස් පොලිස් නිලධාරීන්ට එරෙහිව පොලිස් කොමිසම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට හිටපු රාජ්‍ය හා පොලිස් නිලධාරීන් පිරිසක් පසුගියදා යෝජනා කර තිබුණි.

Social Sharing
නවතම