ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ ජනතාව ඇමතුවේය.

ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙසටය.

මෙහිදි ඔහු අදහස් කළ කැපකිරීම් මොනවාද කියා සඳහන් කළේ නැත. නමුත් ඔහු ඊයේ රටේ ජනතාව අමතන අවස්ථාවේ පවා මෙරට ජනතාව අසීමිත ලෙස කැපකිරීම් කරමින් සිටි බව ඔහු අමතක කර ඇත.

මේ වන විට ලංකාවේ කොවිඩ් මරණ 6985 ක් සිදුව ඇත. මේ මරණ අතරින් බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබු මරණය. නමුත් ආණ්ඩුවේ නොසැලකිල්ලෙන් මරණ 7000 ට ආසන්නව ඇත.

වසර දෙකකට ආසන්න කාලයක් කොවිඩ් සමඟ සටන් කරමින් සිටින මේ රටේ ජනතාව මේ වන විට ආණ්ඩුවේ ක්‍රියා කලාපයෙන් සිටින්නේ තවත් හෙම්බත්වය. ගොවිතැන කරන ගොවියාට රසායනික පොහොර ටික අහිමි වුයේ වත්මන් ජනාධිපතිවරයාගේ කාබනික පොහොර වලට තිබු කැප කිරිම් නිසාය. සහල් ගිනි ගණන් වලට අලෙවි වෙමින් පවතින්නේ කිසිදු පාලන මිලකින් තොරවය. වෙනදා විදේශයට මෙරටින් සහල් අපනයනය කළ අපට ශ්‍රි ලංකාව දැන් පකිස්ථානයෙන් සහල් ගෙන්වීමේ තැනට පත්ව ඇත.

රටේ ජනතාවගේ ඊළඟට පහර වැදුනේ කිරිපිටි වලටය. ඩොලර් හිඟය නිසා විදේශයෙන් ආනයනය කරන කිරිපිටි ඇතුලු බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට වැට බැඳුනි. දැන් ලංකාව පුරා කිරිපිටි හිඟයක් මතුව ඇත.

ඊළඟට මතු වුයේ ගෑස් හිඟයකි. එය ආණ්ඩුවේ තීන්දු තීරණ නිසා සිදු වුවකි. නමුත් අවසානයේ පහර වැදුනේ රටේ ජනතාවටය. ගෑස් සොයමින් රට පුරා යන්නට සිදු විය. ගෑස් මිල ඉහළ ගියේද මේ අතරය. තෙල් මිල ඉහළ දැම්මේය.

මේ අතර එක්තරා අන්තර්ජාල වෙළද සේවයක් හරහා දර අලෙවි කිරිමටද පියවර ගෙන තිබුණි. ඔවුන් මේ වන විට දර මිටි 1000 කට වඩා අලෙවි කර ඇති බව සඳහන් විය.

“අපි කිසිදාක හිතුවේ නැහැ අන්තර්ජාලයෙන් දර විකුණන. නමුත් දැන් ඒවා ඉතා වේගයෙන් අලෙවි වනවා, ” Kapruka.com හි නිර්මාතෘ සහ සභාපති දුලිත් හේරත් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත.

ඉන්ධන මිල ඉහළ යාම නිසා බේකරි කෑමද ගණන් ඉස්සුවේය. දැන් පාන් ගෙඩිය, බනිස් ගෙඩිය ගිනි ගණන්ය.

ගෘහ විදුලි උපකරණ වල මිල ඉහළ ගියේය. වයර් මීටරයේ සිට සෑම දෙයක්ම ගණන් ගියේ බලා සිටියදීමය. ඒ් මදිවාට දැන් සිමෙන්තිද නැත. සංස්ථා සිමෙන්ති කොට්ටයේ සිට අනෙක් සිමෙන්ති කිසිදු වර්ගයක් මේ වන විට වෙළඳපොලේ නැත. ඉදිකිරීම් අංශයට සිදුව ඇත්තේ සිමෙන්ති සොය සොයා යාමටය.

මේ සියලු ජරමර අස්සේ ළමයින්ගේ online අධ්‍යාපනය නිසාද දෙමාපියන් පීඩාවට පත්ව තිබුණි. ඒ් එහි ඇති ගැටලු රාශියක් නිසාය. ඩේටා වල සිට සිග්නල් දක්වාම ගැටලු රැසකි.

මේ අතර රාජ්‍ය අංශයට වැටුප ලැබෙද්දි පෞද්ගලික අංශයේ සේවකයින්ට ලැබුණේ බොහෝ විට අඩ වැටුපකි. ඊට හේතු වුයේ කොවිඩ් වසංගතය නිසා ආදායම් නැතැයි පවසමින් බොහෝ කර්මාන්තශාලා වල වරප්‍රසාද සියල්ල කප්පාදුවට ලක් කිරිමය. මේ නිසා මාසය අවසානයේ පෞද්ගලික අංශයට අතට ආවේ සොච්චම් මුදලකි.

ක්ෂුද්‍ර මුල්‍ය ආයතන, ලිසිං ආයතන මේ අතර ජනතාව පසුපස ලුහුබැන්දේ ඔවුන්ගේ වාරික ලබා ගැනීමටය. ජනතාව ඒ්වායින්ද පීඩා වින්දේය.

කොවිඩ් පරික්ෂණ පෞද්ගලික අංශයෙන් ක ගැනීමට ගිය තැන සිටම ජනතාව සුරා කෑමට ලක් විය.  එමෙන්ම කොවිඩ් ආසාදිත රෝගීන් නිවෙස් වල රඳවා ගැනීම කුඩා නිවෙස් හිමියන්ට නම් විශාල ගැටලුවක් විය. නමුත් ඔවුන්ට ඒ් කැප කිරිම් කළ යුතු විය.

රටේ ජනතාව මේ විදිහට කැපකිරිම් කරද්දි ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරුන් සිදු කළ කැපකිරිම් මොනවාද කියා රටේ ජනතාව කවදාවත් ප්‍රශ්න කලේ නැත. නමුත් ජනාධිපතිවරයාගේ ඊයේ කථාවෙන් පසු ජනතාව දැන් ඒ් ගැන සිතිමට පෙළඹි ඇත.

ජනතාව අනේක ප්‍රශ්න වලින් හෙම්බත්ව රටේ නාගඩම් දෙස බලා සිටිද්දි මේ දේශපාලඥයින් කිසිවෙකුත් මේ වනතුරු රට වෙනුවෙන් කියා කිසිදු කැප කිරිමක් කළේ නැත. ඔවුන් සැප වින්දා පමණි. හැකි නම් තවත් වරප්‍රසාද ලබා ගැනීමට උත්සහ කළා පමණි.

එසේ නම් ජනාධිපතිතුමනි, තවදුරටත් අහිංසක ජනතාවගෙන්, එදා වේල ගැට ගසා ගන්නවුන්ගෙන් කැප කිරිම් නොඉල්ලා පාර්ලිමේන්තුවේ සිටින 225 න් කැප කිරිම් ඉල්ලා සිටින්න. ඔවුන්ගේ වරප්‍රසාද අවම කරමින් අසීමිත මුදල් නාස්තිය වලක්වා ගන්න. තවදුරටත් අහිසංක ජනතාවගේ හිස දං ගෙඩියට තබනු එපා.

ශානි

 

 

 

Social Sharing
නවතම විශේෂාංග