කොටවිල පොලිස් OIC ක්‍රිකට් විකට් කූරකින් සැකකරුවෙකුට පහර දෙයි!

මාතර, කොටවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොටවිල පොලිසිය විසින් වදහිංසනයට  ලක් කොට පහර දී දකුණු උරහිසට හානි කළ බවට  ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ වරකපිටිය, සුල්තානගෛාඩ පදිංචි එච්.ජී.ධර්මබන්දු නම් අයෙකි. ඔහු පවසනා පරිදි පහුගිය ජුලි 31 දා රාත්‍රියේදි යාබද නිවසේ සිටින සුමිත් හා ඔහුගේ පුතු ධර්මබන්දුගේ නිවසට පැමිණ බහිනබස් වී ඇත.

එහිදී සුමිත්ගේ පුතු වන කුමුදු ප්‍රියශාන්තට ගලකින් පහර දුන් බවට සුමිත් විසින් ධර්මබන්දුට එරෙහිව කොටවිල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලට අනුව කොටවිල පොලීසියේ නිළධාරියකු පහුගිය 01 වන දින ප.ව. 01.00 ට පමණ නිවසට පැමිණ දන්වා ඇත්තේ මෙම පැමිණිල්ල විමර්ශනය කිරිම සඳහා 03 වෙනි දින පෙරවරු 10.00 ට පොලිසියට පැමිණෙන ලෙසය. ඒ් අනුව එදින ධර්මබන්දු පොලිසියට ගොස් ඇති අතර එහිදී  පැමිණිලි  පාර්ශවය පමණක් පොලිසිය සුලු පැමිණිලි අංශයේ කාමරය තුලට ගෙන තිබේ.

පසුව එකී පොලිස් නිලධාරියා ධර්මබන්දුගෙන් කිසිත් නොවිමසා ඔහුව පොලිස් කූඩුවට තල්ලු කර දමා ඇත. පස්වරු 1.00 ට පමණ කොටවිල පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ පවසා ඇත්තේ ධර්මබන්දුව ඔහුගේ කාමරයට රැගෙන එන ලෙසටය. ඒ් අනුව ඔහු එහි රැගෙන ගිය විට ස්ථානාධිපතිවරයා විමසා  ඇත්තේ කැම්පස් යන අහිංසක කොල්ලෙකුට ගලකින් පහර දුන්නා නේද? යන්නය.

එම අවස්ථාවේදී කුමුදු ප්‍රියශාන්ත යන අයවද ඇතුලට ගෙන ඔහුගෙන් තොරතුරු විමසා ස්ථානාධිපතිවරයා අසභ්‍ය වචන පවසමින් විකට් කූරකින් ධර්මබන්දුගේ ඇගට, පිටට. හා උරයට පිට පිට ප්‍රහාරයක් එල්ල කළ බව ඔහු සිය පැමිණිල්ලෙන් කියා ඇත.

ස්ථානාධීපති විසින් පහරදෙන අවස්ථාවේ ධර්මබන්දුගේ බිරිඳ  ස්ථානාධීපතිවරයාගේ  වීදූරු කාමරයේ දොර අසලට පැමිණ සිය සැමියාට පහර නොදෙන ලෙස කියා ඇත. ඒ් අනුව ස්ථානාධිපතිවරයා පහර දීම නවතා ඔහුගේ බිරිඳගෙන් විමසා ඇත්තේ මිනිහා හදා ගැනීමට ඇයට නොහැකිද? යන්නය.

පොලිස් ස්ථානාධීපතිවරයාගේ ඉතාමත් අමාණුෂික ලෙස පහරදීම හේතුවෙන් දැඩි වේදනාවක් සහ දකුණු අත උස්සන්න බැරි ස්භාවයක් හා ක්ලාන්ත ගතියක් ඇති වී තිබූ බව වින්දිත ධර්මබන්දු කියා සිටියි. පස්වරු 3.00 ට පමණ පොලිස් ඇපයක් මත ඔහුව මුදා හැර ඇති අතර පසු දින මාතර මහ රෝහල වෙත ගොස් නේවාසික ප්‍රතිකාර ලබා ගෙන ඇත.

එහිදි හෙළි වී ඇත්තේ පහරදීම හේතුවෙන් ඔහුගේ දකුණ උරයේ අස්ථියකට බරපතල හානි සිදුව ඇති බවය. ධර්මබන්දු මේ පිලිබඳව මේ වන විට මාතර සහකාර පොලිස් අධිකාරිවරයාට  මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් කොටවිල පොලීසියට එරෙහිව පැමිනිල්ලක් සිදු කර ඇත.

ශානි

 

Social Sharing
නවතම