හොරා පොලිස් පැහැර ගැනීම් එක්ක අපි මේ කොයි යන්නේ මිලිටරිකරණය පැත්තටයි ගාටන්නේ..

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි ජනපති ධුර කාලය ගැන මතකය අලුත් වෙමින් තිබෙයි. රට එක් පැත්තකින් විශාල ව්‍යසනයකට ගොදුරුව ඇත. මිනිසුන් පොකුරු පිටින් මිය යමින් සිටී. පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙලූ පිරිස් වාශ්පවී ඇත. කොවිඩ් මරණ ප්‍රමානය 5000 සේ සීමාවට ආසන්නව ඇත. පැණි සමය අවසන් වී කඳුළු සමය ඇරඹී ඇත. දැන් බොන්නට තියෙන්නේ කඳුළුය.

මේ ව්‍යසනය අස්සේම ගුරු විදුහල්පති අරගලයද, මිලිටරිකරණයට පාර හදන කොතලාවල පනතට විරුද්ධ බහුජන අරගලය ද හුස්ම ගනිමින් ඇත. ආණ්ඩුව කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් සරි කිරීම පසෙක ලා අරගලකරුවන්ගේ හුස්ම ගැනීමේ අයිතියට බාධා කරමින් සිටියි. රට එකම අවුල් ජාලයක් ය. සිස්ටම් චේන්ජ් කරන්න පැමිණි මිනිසා ආපසු ආරක්ෂක ලේකම් චරිතයට පන දෙන්නට හිත හදාගෙන දැයි සැකසිතේ. රට ආර්ථිකව කළු කුහරයක් වෙත ගමනක් යමින් සිටී. එම ඇදගැනීම වළකන්නට රොකට් එන්ජිමක් සවිකරගන්නට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට හැකියාවක් නැතිබව දැන් පැහැදිලිය. විශ්ම කර්ම මිනිසා ළඟද විසිල් විතරය. කරනම් බල්ටි නැත.

මිලිටරිකරණයට පාර..

මේ සියලු ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මර්දනය මහ දවල් පාරට කැඳවා ඇත. හොරාපොලිස් කල්ලියක් නුගේගොඩ සහ විජේරාම හන්දිය අතරදී බසයක් නවතා ජපුර විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය අමින්ද  ලක්මාල් අත්අඩංගුවට ගන්නට නටන නාටකය අප ෆේස්බුක් ලයිව් එකක් හරහා දැක ගතිමු. අමින්ද ලක්මාල් රැගෙන යාමට පොලීසිය උත්සාහ කර ඇත්තේ අන්තර විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යැයි සැකසිතා බව දැනගන්නට ඇත. එය ඇත්තනම් දැන් ඕනෑම මිනිසෙක් තවත් මිනිසෙක්ට මාරුවී පොලිස් අත්අඩංගුවට පත්වෙන්නට පුලුවන් ය. මෙයින් පෙනෙන්නේ පුරවැසියෙක් අත්අඩංගුවට ගැනීම කොතරම් සරළ සුඟම දෙයක් වී ඇතිද යන්නයි. එම අවස්ථාවේ බස් රථයේ තවත් විශ්ව විද්‍යාල සිසුන් සහ ආචාර්‍ය මහාචාර්යවරුන් සිටි නිසා අමින්ද ලක්මාල්ට මාංචු වැටී නැත. එහෙත් හෙට දවසේ තවත් බොහෝ දෙනෙකුට මෙහෙම මාංචු වැටීමේ අනතුරක් ඇත.

මහරෑ වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අමින්ද ලක්මාල්ට වැරදීමකින් යැයි කියමින් දාන්නට ගිය මාංචු කූට්ටම අද උදෑසන 2.30ට පමණ රත්මලානේ සිරස රූපවාහිනි පරීශ්‍රයට ආසන්න ස්ථානයකදී අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගේ දෑතට දමනවා අපි සිරස රූපවාහිනිය හරහා දැකබලා ගත්තෙමු. එහිදී ශිෂ්‍ය නායකයා සහ අත්අඩංගුවට ගැනීමට පැමිණෙන සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිළධාරීන් අතර යන කතාබහට අනුව කියවෙන්නේ පොදු දේපලවලට කරනු ලැබූ හානියක් නිසා මෙලෙස අත්අඩංගුවට ගන්නවා බවය. එම චෝදනාවලට අමතරව නිරෝධායන නීතිය කැඩීමද තවත් චෝදනාවක් ය. එම චෝදනාවන් රැස එම අවශ්තාවේදී හඬ නඟා කියවන්නට එතනට පසුව පැමිණෙන පොලිස් ලොක්කාද මුව ආවරණයක් පැළඳ නැත. ඔහු ද නිරෝධායන නීතිය බිඳිමින් තවත් පුද්ගලයෙක් ඒ නීතියම කැඩුවා යැයි අත්අඩංගුවට ගැනීම මොනතරම් විගඩමක් ද?..

අමිල සන්දීප පැහැර ගැනීම

වසන්ත මුදලිගේ මෙලෙස අද උදෑසන අත්අඩංගුවට ගැනීමට ප්‍රථම පසුගිය 5 දා හවස 3ට පමණ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරියේදී සුදුපැහැ වැගන් ආර් රථයකින් පැමිණි පිරිසක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප පැහැරගෙන ගොස් ඇත. පසුව අනාවරණය වී ඇත්තේ ඔහු මිරිහාන පොලීසියේ අත්අඩංගුවට පත්වී ඇති බවය.

පොදු දේපලවලට කළ හානිය

මේ ශිෂ්‍ය නායකයින් දෙදෙනාම මෙලෙස අත්අඩංගුවට ගන්නේ පසුගිය අගෝස්තු 03 වෙනිදා පාර්ලිමේන්තු පාරේ සිසුජන ව්‍යාපාරය හරහා කොතලාවල පනතට විරුද්ධව කරනු ලැබූ විරෝධතාවයේදී පොදු දේපලවලට හානිකලා යන චෝදනාව සහ තවත් චෝදනා යටතේ ය. මීට අමතරව පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම, අයිතු ජන රාශිය යන චෝදනා මොවුන්ට විරුද්ධව නඟා ඇති බව දැනගන්නට ලැබේ.

මෙම උද්ඝෝෂණයේදී රිජිපෝම් මිනී පෙට්ටියක් පුලුස්සා දැමීම නිසා පාර්ලිමේන්තු පාරේ කාපට් එකට රුපියල් 179000ක හානියක් වී ඇතැයි පොලීසිය අධිකරණයට  ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇත.  මෙය මොනතරම් විහිළුවක් ද? පොදු දේපල මහා දහවල් මංකොල්ල කන පිරිස් ආණ්ඩුව අස්සේම වැජබෙමින් සිටින කලක පොලීසිය නඟන මේ චෝදනාවලට අප සිනාසිය යුත්තේ පස්සා පැත්තෙන් ය. අහෝ පොලීසියට ගිය කලක් කියනු හැර වෙන මොනවා කියන්නද?

මේවනවිට මෙම උද්ඝෝෂණයට අදාළව 5 දෙනෙක් මෙම ශිෂ්‍ය නායකයින් ද ඇතුලත්ව අත්අඩංගුවට ගෙන ඇත. අනෙක් තිදෙනා එම උද්ඝෝෂණය සඳහා සෙනඟ රැගෙන ආ බස් රථයන් පැදවූ රියදුරන්‍ ය. ඔවුන් තිස්සමහාරාමය මැදිරිගිරිය සහ ගම්පොළ පදිංචිකරුවන් ය. ඔවුන්ට නැඟෙන චෝදනා වන්නේ නිරෝධායන නීතිය උල්ලංඝනය සහ සංචරණ සීමා උල්ලංඝනය කිරීමය. මීට අමතරව තවත් 12 දෙනෙක් අත්අඩංගුවට ගන්නට සිටින බව වාර්තා වෙයි. ඒ අතර කොට්ටාව සුමිත් සවුන්ඩ් අයිතිකරුවාද වෙන බව දැනගන්නට ඇත. ඔහු මෙම උද්ඝෝෂණය සඳහා ශබ්දවාහිනී යන්ත්‍ර සපයා ඇත. මේ ලිපිය ලියන 6වෙනිදා උදෑසන 11.30 පමණ වෙනවිට අත්අඩංගුවට ගත් මේ පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරන්නට සූදානම් බව දැනගන්නට ඇත.

දැන් දේවල් සිද්ධවෙමින් යන්නේ මෙහෙමය. මර්දනය මහපාරට කැඳවමින් ආණ්ඩුව නැඟඑන ජනතා අප්‍රසාදය වසාදමන්නට උත්සාහ කරමින් සිටින බව පෙනෙයි. එක් පසෙකින් කොවිඩ් රකුසා දත් විලිස්සාගෙනය. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ මර්දන යාන්ත්‍රනයේ දැති රෝද කැරකෙන්නට පටන් ගෙන ඇත.

කේ. සංජීව

Social Sharing
නවතම