බලහත්කාර අතුරුදහන් කිරීම් අතරින් ලෝකයේම දෙවැනි තැන ලංකාවට!

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදු වන ලෝකයේ රටවල් අතරින්  දෙවන ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) ප්‍රකාශ කර සිටියි.

2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන නඩුවේ 14 වැනි විත්තිකරු වශයෙන් නම්කර තිබෙන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කර සිටියේ පෙරේදා (04) දිනයේය.

ඒ් සම්බන්ධව  අදහස් දක්වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි ආසියා පැසිෆික් අධ්‍යක්‍ෂක යමිනි මිශ්‍රා පවසන්නේ ශ්‍රි ලංකාව තුළ දස දහස් ගණන් මිනිසුන් බලහත්කාරයෙන් අතුරුදහන් වී ඇති බවත් තරුණයින් 11 නා පැහැර ගැනීමේ නඩුව ආධාර සහ අනුබල දීම සහ අණ දෙන වගකීම් යටතේ අපරාධ චෝදනා සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇති සැකකරුවන් නඩු විභාගයට ගෙන ඒම සහතික කිරීම තුළින් ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සඳහා යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ට තිබු අවස්ථාවක් අහිමි වීම බවද යමිනි මිශ්‍රා පවසයි.

ඇම්නෙස්ටි ආයතනය තවදුරටත් කියා සිටින්නේ මෙම නඩුව මේ වන විටත් ශ්‍රී ලංකාවේ උසාවියේ බාධක වලින් වැසී ගොස් ඇති අතර, මේ  ගත් තීරණය යුක්තිය තවදුරටත් වින්දිතයින්ගේ පවුල් සඳහා ලබා ගත නොහැකි මට්ටමට ගොස් ඇති බවය.

නීතිපති දෙපාර්තමේන්තුව සිය තීරණයට හේතු පැහැදිලි කළ යුතු අතර, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධියට ගොදුරු වූ සියලු දෙනා සඳහා සත්‍ය , යුක්තිය සහ වන්දි ගෙවීම සඳහා ශ්‍රි  ලංකා බලධාරීන් කටයුතු කළ යුතු බවත් පවසන  යමිනි මිශ්‍රා පෙන්වා  දෙන්නේ දේශපාලන පළිගැනීම් කොමිසම අධිකරණයේ ඇති හමුදා නිලධාරින් සම්බන්ධ නඩු වලට මැදිහත් වන ප්‍රවණතාවයක් දක්නට ඇති බවත්ය.

ශානි

Social Sharing
නවතම