ගුරු සටනට සහභාගී වූ 42ක් අත්අඩංගුවට, කාන්තාවන් 16ක් ඒ අතර!

දිගු කාලයක් තිස්සේ ඇදී යමින් පවතින ගුරු විදුහල්පති අරගලයේ තීරණාත්මක උද්ඝෝෂණයක් අද දින පැවැත්වීය. කැබිනට් මණ්ඩලය විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගැනීම, අධ්‍යාපාන ඇමති සහ සියළු බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම හේතු කොට ගෙන අද දිනයේ විරෝධතා රථ පෙළපාලි 5කින් කොට්ටාව, මොරටුව, කඩවත, හා වැලිසර සිට පැමිණි ගුරු විදුහල්පතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විශාල උද්ඝෝෂණයකට එක් විය.

මෙම විරෝධතාවයට සම්බන්ධ වූ පුද්ගලයන් 42 දෙදෙනෙක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා ඇත. මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 26ක් හා කාන්තාවන් 16 දෙනෙක්ද සිටින බවටයි වාර්තා වන්නේ. මොවුන් සියළු දෙනා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ. උද්ඝෝෂණයට සම්බන්ධ වූ වාහන 10ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවටද වාර්තා වෙයි.

ඊයේ දිනයේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කල පාර්ලිමේන්තුව අසළ විරෝධතාවය සංවිධානය කරන ලදැයි සහ ඊට සම්බන්ධ වූ බව කියමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත හා කෝෂිලා හංසමාලි යන අයවලුන් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පුරාම උද්ඝෝෂණ ගණනාවක් ක්‍රියාත්මක වෙයි. කොතලාවල පනතට එරෙහිව ලංකාවේ සියළු විශ්ව විද්‍යාල ඉදිරිපටත් ලංකාවේ සියළුම අධ්‍යාපන කලාපයන්හිදී ගුරු විදුහල්පති ගැටළු පිළිබදවත් උද්ඝෝෂන පැවැත්වුනි.

Social Sharing
නවතම