නිදහස් අධ්‍යාපනයට බාධා එපා – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්

නිදහස් අධ්‍යාපනයට බාධා වන කිසිදු ක්‍රියා මාර්ගයකට තමන් කැමති නැති බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ  හිමියන් පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතන විහාරස්ථානයේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සාමාජිකයන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමු වු අවස්ථාවේදීය. ඔවුන් ඇල්ලේ ගුණවංශ හිමියන් හමු වුයේ කොතලාවල පනත සහ එහි ඇති හානිකර තත්වය පිළිබඳව ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීම පිණිසය.

මෙහිදි වැඩිදුරටත් ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටියේ මෙම පනත නිසා ඉදිරියේදී ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවය. කෙසේ වෙතත් මෙම පනත ගැන වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඉදිරියට ගත හැකි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කරන බවත් කිසිම අවස්ථාවක නිදහස් අධ්‍යාපනයට හානි කරන කිසිදු ක්‍රියාමාර්ගයකට තමන් එකඟ නොවන බවත් ය.

මෙහිදි මාධ්‍ය වෙත අදහස් දැක් වු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් මහතා කියා සිටියේ කොතලාවල පනත ඡන්දයට ගැනීමට පෙර සිවිල් සංවිධාන,දේශපාලන ව්‍යාපාර,ශිෂ්‍ය සංගම්,වෘත්තීය සමිති ඇතුලු සංවිධාන රැසක් සමඟ එක්ව විරෝධය පල කිරීම සිදු කරන බවය.

ඉදිරියේද මෙවැනි දේශප්‍රේමී බලවේග සමඟ තවත් එක්ව නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ අරමුණ බවද ඔහු කියා සිටියේය.

මෙහිදි අදහස් පල කල වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතා කියා සිටියේ  පවතින රජය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවත්,නිදහස් අධ්‍යාපනය රැකීමෙන් මිස නිදහස් අධ්‍යාපනය විකිණීමෙන් ජයග්‍රහණ ලබාගත් කිසිදු රටක් නොමැති බවද ප්‍රකාශ කලේය.තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කලේ ඕනෑම පරිත්‍යාගයක් සිදු කරමින් මෙම පනත හකුලාගැනීම වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් සූදානම් බවයි.

ශානිකා

 

 

 

Social Sharing
නවතම