හමුදාවේ ක්‍රියා ගැන ප්‍රශ්න කරන්න අද කවුරුත් නැහැ – නීතිඥ තිෂ්‍ය වේරගොඩ

ව්‍යවස්ථාවෙන් පිලිගෙන ඇති කෲර වදහිංසාවට එරෙහි ප්‍රතිපාදන කිසිදු හේතුවකට ත්‍රස්තවාදියෙකුටවත්, අපරාධකරුවෙකුටවත් වෙනස් නොවන බව නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පවසයි.

ත්‍රස්තවාදියාට මෙන්ම අපරාධකරුවාටද ඒ ව්‍යවස්ථාවෙන් පිලිගෙන ඇති ප්‍රතිපාදන හිමි බවත් නමුත් අද එය සිදු නොවන බවද පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ අද හමුදාවෙන් කරන අපරාධ පසුව නිවැරදි කරන්නට රජය කටයුතු කරමින් සිටින බවය.

ජනාධිපතිවරයා හදිසි නීති රෙගුලාසි යටතේ හමුදාව කැඳවන්නේ යුද්ධයකට හෝ නැතිනම් පොලිසියට සහාය වීමට බවත් කිසිදු විටෙක ඔවුන්ට නිවැරදි කැඳවීමක් නොමැතිනම් එළියේ සිටිමට නොහැකි බවත් ඔවුන් සිටය යුත්තේ හමුදා කඳවුරු තුල පමණක් බවද හෙතෙම කියා සිටියි.

නමුත් අවාසනාවකට එවන් ත්ත්වයක් රට තුල නොමැති බවත් එදා කොළඹ සංවර්ධන ව්‍යාපෘති පවා සිදු කළේ හමුදාවෙන් බවත් ඔවුන් නෛතික රාමුවෙන් පිට වැඩ කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

පහුගිය කාලයේ මාර් ග වල රථ වාහන හැසිරවීමට හමුදා පොලිසිය යොදා ගත් නමුත් ඊට අවැසි බලතල හමුදාවට නොමැති බවද සඳහන් කරන ඔහු පවසන්නේ අද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බලතල පවා කොවිඩ් මර්දන කාර් ය බලකායේ ප්‍රධානීයා වෙත පැවරී ඇති බවය.

හමුදාව මේ සිවිල් රාජකාරී කිරිමේදී නීතිය සුරැකීම හා වගකීම පිලිබඳ ගැටලු ඇතැයිද පවසන ඔහු පෙන්වා දෙන්නේ පහුගිය කාලයේ හමුදාවට එල්ල වු ඝාතන චෝදනා සම්බන්ධයෙන් සිදු වුයේ කුමක්ද යන්නය.

අපිට ඔ්නේ දෙයක් කරන්න පුලුවන් යන මානසිකත්වයෙන් හමුදාව සිටින බවත් ඔවුන්ගේ ක්‍රියාවන් ප්‍රශ්න කිරීමට අද කෙනෙකු නැති බවද නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පවසයි.

රට පවතින්නේ එහි බලැපැත්වෙන නීතිය අනුව බවත් ඒ් රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමකට ලක් වෙනවානම් සිදුවන්නේ රටේ පිලිවෙත පිලිබඳ ජනතාව කණස්සල්ලට පත් වීම බවද ඔහු පෙන්වා දෙයි.

නීතියේ ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තුල තිබෙන දෙයක් බවද ඔහු අවධාරණය කර සිටියි.

ඔහු මේ බව කියා සිටියේ හමුදාකරණය සහ නීතියේ ආධිපත්‍ය යන මැයෙන් පැවති සාකච්ඡාවකදීය. මෙය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබු අතර මෙහෙයවනු ලැබුයේ නීතිඥ ජගත් ලියනාරච්චි මහතා විසිනි.

ශානිකා

Social Sharing
නවතම