වසර 3 කට ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැන් එපා! – පා.ම සිවාජිලංගම්

එදා තාවකාලික පනත් ලෙස ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට දැන් වසර 43 ක් ගත වී ඇති බවත් ඒ නිසා මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් මහතා පවසයි.

ජනාධිපති විමර්ශන කොමිසන් සභාව විසින් පත් කරන ලද කමිටුව විසින් මේ වන විට ලබා දී ඇති වාර්තාවේ සඳහන් වන්නේ මේ පනත අහෝසි නොකල යුතු බවය. නමුත් එහි සඳහන් වගන්ති කිහිපයක් සංශෝධනය කල යුතු බව දන්වා ඇත.

නමුත් සිවාජිලංගම් මන්ත්‍රීවරයා පවසන්නේ කොමිසමේ මතය පිලිගත යුතු නැති බවය. ජාත්‍යන්තරයේ පවා මේ පනත ගැන කථාබහට ලක්ව ඇති බවත් ඒ නිසා පුද්ගලයෙකුගේ මතය වැදගත් නොවන බවය.

මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා පුද්ගලයින් වදහිංසාවට ලක් කර පාපෝච්චාරණය කර ගැනීම ඉතා භයානක බවද අද දෙමළ ජනතාවට මේ දේවල් සිදු වුවත් ඉදිරියේදි සිංහල ජනතාවටද මේ දේවල් වලට ගොදුරු විය හැකි බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ඒ නිසා මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවයි.

එදා ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුව 1979 ජුලි 19 දා එවකට සිටි අධිකරණ අමාත්‍යවරයෙකු වු දෙමළ ජාතික දේවනායගම් මහතා හරහා අවුරුදු තුනකට වලංගු වෙන පරිදි මේ පනත ගෙන ආ බවත් දැන් ඒ පනතට වසර 43 ක් ගත වෙලත් තවමත් භාවිතා කරමින් සිටන බවද ඔහු කියා සිටියි.

ඒ නිසා වසර තුනකට ගෙනාපු පනතක් දැන් රටට අවශ්‍ය නැති බවත් එය ඉවත් කර යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දකුණේ මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

-ශානි-

Social Sharing
නවතම