20 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

පොහොට්ටුවයි, වියත් මඟයි මේ රටේ දේශපාලනය අන්තයකට රැගෙන ගිය බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අපට පරණ දේශපාලනයෙන් ඉදිරියට යා නොහැකි බවත් දැන් ජාතිවාදී, ආගම්වාදී දේශපාලනය ජනතාවට එපා වී ඇතැයිද ඒ මහතා කියා සිටියි.

පෙරමුණු ගැහුවා කියා දිනන්නේ නැති බවත් ජනතාවට දැන් අවශ්‍ය මේ වැටී ඇති වලෙන් ගොඩ ඒමට බවත් ඔහු අවධාරණය කර සිටියි.

අද අපට ජනතාවට සහන ලබා දීමට නොහැකිව ඇත්තේ දේශීය ආර්ථිකය මෙන්ම විදේශ විනිමය බංකොලොත්භාවයට පත් වු නිසා බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මෙයින් අප ගොඩ ඒමට නම් ඇමරිකාව, ජපානය, ඉන්දියාව වැනි රටවල් සමඟ මිත්‍ර විය යුතු බවය.

චීනයට ලෝකයේ හැම රටකටම ආධාර කිරීමට නොහැකි බවද අපේ විශාලම වෙළඳපොල ඇත්තේ ඉන්දියාවේ බැවින් අප එතැනට යා යුතු බවද සඳහන් කරන ඒ මහතා පවසන්නේ අපේ ආර්ථිකය අප විසින්ම සාදා ගත යුතු බවය.

අප දීර්ඝ කාලයක් එකම ප්‍රතිපත්තියක රට ගෙන යා යුතු බවත් නමුත් අද ආණ්ඩු මාරු වූ ගමන් ලිපිකරුවාගේ පටන් සියලු දේ මාරු කරන බවද හෙතෙම කියා සිටියි.

20 වෙනි ව්‍යවස්ථාව අප ඉවත් කළ යුතු බවත් හැකිනම් 19 ට ගොස් ඒ හරහා නව ව්‍යවස්ථාවක් ගෙන ආ හැකි බවද නැතිනම් අලුතෙන්ම ව්‍යවස්ථාවක් ගෙන ආ හැකි බවද පවසන රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ සියල්ලටම පෙර අප 20 වෙනි ව්‍යවස්ථාව අයින් කළයුතු බවය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ඡාවකදීය. මෙය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබුණි.

-ශානි-

Social Sharing
නවතම