වී වගාව විනාශ කරන කන්තලේ නිලධාරීවාදය!

කන්තලේ සීනි කම්හලට අයත් අක්කර 37,000ක භූමි ප්‍රමාණයෙන් කොටසක් ප්‍රදේශයේ ගොවි සංවිධානවල ඉල්ලීම මත සහන බදු පදනම යටතේ ගොවීන් අතර බෙදා දී තිබුණද, එම ඉඩම්වල වගා කළ වී වගාවන්ට ජලය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගොවීන් සිය ගණනක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව කන්තලේ ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.

ගොවි සංවිධාන සඳහන් කරන පරිදි, සීනි කම්හලට අයත් ඉඩම් ගොවීන් අතර බෙදාදීමේ කටයුතු සඳහා කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය මැදිහත් වී තිබේ. කෙසේ වෙතත්, එම ඉඩම් බෙදාදීමේදී දේශපාලන හිතවත්කම් මත ජලය ලබාගැනීමට පහසු ඉඩම් කිහිපයක් විශේෂ පිරිසකට ලබාදී ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ.

මේ අතර, සීනිපුර ට්‍රක් 7 ප්‍රදේශයේ ඉහත ක්‍රමවේදය යටතේ වගා කරන ලද වී වගාවන්ට ජලය නිකුත් කිරීම කන්තලේ වාරිමාර්ග නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ගොවීහු පවසති. එහි ප්‍රතිඵලයක් ලෙස ගොවීන් 300කට ආසන්න පිරිසකගේ වී වගාවන් ජලය නොමැතිව වියළී යමින් තිබෙන අතර, ඔවුන්ගේ ජීවනෝපාය බරපතළ අවදානමකට ලක්ව ඇත.

අදාළ ගොවීන් පෙන්වා දෙන්නේ, වගා කටයුතු ආරම්භ කිරීමට පෙර පැවති කන්න රැස්වීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් වගාව සඳහා අවශ්‍ය ජලය අඛණ්ඩව ලබාදෙන බවට පැහැදිලි පොරොන්දුවක් ලබාදුන් බවයි. එම සහතික කිරීම් මත විශාල මුදලක් වැය කරමින් වගා කටයුතු ආරම්භ කළද, මේ වන විට ජලය නිකුත් නොකිරීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික අර්බුදයකට පත්ව ඇති බව ඔවුහු අවධාරණය කරති.

ගොවීන් තවදුරටත් සඳහන් කරන්නේ, වගා කටයුතු ආරම්භ කිරීමට පෙර ජලය ලබාදෙන බවට රාජ්‍ය ආයතන පොරොන්දු වී පසුව එම පොරොන්දු ඉටු නොකිරීම බරපතළ පරිපාලන අසාර්ථකත්වයක් බවයි. එවැනි තත්ත්වයක් තුළ වගා විනාශ වීමේ සම්පූර්ණ වගකීම අදාළ ආයතන භාරගත යුතු බවද ඔවුන් පෙන්වා දෙති.
වගා විනාශය හේතුවෙන් දැඩි අලාභයට පත්ව සිටින ගොවීන් ඉල්ලා සිටින්නේ වහාම ජලය නිකුත් කර තම වගාවන් බේරා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්ය.

Social Sharing
නවතම පුවත්