ස්වභාවික ආපදා මෙන්ම දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන්ද රටක් ඉතා කෙටි කාලයකින් විනාශයට පත්විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අවධාරණය කරයි.
එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් කිසිදු ජාත්‍යන්තර ආධාරයක් හෝ ජාත්‍යන්තර සහායක් මඟින් රට යථා තත්ත්වයට පත් කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.
අගවිනිසුරුවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය විසින් නව මහේස්ත්‍රාත්වරුන් සඳහා සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.
එහිදී නීති වෘත්තිය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඔහු, අධිකරණ සංවිධාන පනතට අනුව හොඳ කීර්තියක්, නිපුණතාවයක් සහ ප්‍රමාණවත් දැනුමක් ඇති පුද්ගලයන් පමණක් නීතිඥවරුන් ලෙස ලියාපදිංචි කළ හැකි බව සඳහන් කළේය.
නීතිඥවරයකු ලෙස ලියාපදිංචි වීමෙන් පසුද වෘත්තීය සදාචාරය සහ පිළිගත හැකි හැසිරීම අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවත්, එසේ නොවන්නේ නම් බරපතළ ගැටලු මතුවිය හැකි බවත් අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේය.
ජනතා ස්වෛරීභාවය පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ විධායක බලය, ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය සහ ඡන්ද බලය යන ප්‍රධාන සංරචක හතරක් එහි අන්තර්ගත වන බවයි.
අධිකරණ බලය ජනතාවගෙන් උරුම වූ බලයක් වන අතර, එය විනිසුරුවරුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් බවද ඔහු අවධාරණය කළේය.
“විනිසුරුවරුන්ට එම බලය ලැබෙන්නේ ඔවුන්ගේ පෞද්ගලික තත්ත්වයෙන් හෝ අධිකරණ සේවා කොමිසමෙන් නොව, ජනතාවගෙන්. එම බලය භාවිත කළ යුත්තේ ජනතාවගේ යහපත වෙනුවෙන් බව සෑම විටම මතක තබාගත යුතුයි,” යනුවෙන් අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේය.
තවද, අධිකරණයේ ස්වාධීනත්වය පවත්වාගෙන යා යුත්තේ විනිසුරුවරුන්ගේ පෞද්ගලික වාසිය සඳහා නොව, ජනතාවගේ අයිතිවාසිකම්, යහපත සහ අධිකරණය කෙරෙහි ඔවුන් තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

