
2026 ජූනි මාසයේදී රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත” මගින් ඩිජිටල් සිවිල් අවකාශය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ ප්‍රකාශනයේ නිදහස බරපතළ අවදානමකට ලක්වන බවට “සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වූ සාමූහිකය” චෝදනා කරයි.
එම සාමූහිකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීමය ප්‍රමිති ස්ථාපිත කිරීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති බව පැවසෙන මෙම පනත් කෙටුම්පත ප්‍රායෝගිකව ස්වාධීන මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය අන්තර්ගත නිෂ්පාදකයන් සහ විවේචනාත්මක හඬවල් පාලනය කිරීම සඳහා යොදාගත හැකි බවයි.
පනත් කෙටුම්පතේ 5(4) වගන්තිය අනුව පළමු වසර සඳහා පත් කෙරෙන අතුරු සභාව විෂය භාර අමාත්‍යවරයාගේ බලපෑමට යටත්ව පත් වන බැවින්, ආයතනයේ ආරම්භක ව්‍යුහයම දේශපාලන මැදිහත්වීම් සඳහා විවෘත වන බව එම සාමූහිකය පෙන්වා දෙයි.
එමෙන්ම, “මාධ්‍ය වෘත්තිකයා” යන නෛතික විෂය පථය තුළ YouTube, Facebook සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල ක්‍රියාත්මක අන්තර්ගතයන් තනන්නන් සහ අන්තර්ගත සංස්කාරකවරුන්ද ඇතුළත් කිරීම පිළිබඳවද ඔවුන් කනස්සල්ල පළ කරයි. ඔවුන් පවසන්නේ මෙය ස්වාධීන පුරවැසියන් රාජ්‍ය නියාමන රාමුවක් යටතට ගෙන ඒමේ උත්සාහයක් විය හැකි බවයි.
තවද, පනත මගින් පාලක සභාවට වෘත්තීය ආචාරධර්ම පද්ධතියක් සහ විනය පාලන ක්‍රමවේදයක් හඳුන්වාදීමේ බලය ලබාදී ඇති නමුත්, “වෘත්තීය විෂමාචාරය” යන්න නිශ්චිතව අර්ථ දක්වා නොමැති බවද නිවේදනයේ සඳහන් වේ. එම හිඩැස දේශපාලනිකව අර්ථකථනය කර විවේචනාත්මක මාධ්‍ය හඬවල් මර්දනය කිරීමට භාවිත කළ හැකි බවටද ඔවුන් අනතුරු අඟවයි.
සාමූහිකය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම පනත දැනට බලාත්මක “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත” (Online Safety Act) සහ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වීමෙන් මාරන්තික ‘ත්‍රිත්ව නීතිමය උගුලක්’ මෙහිදී සක්‍රීය වන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තියෙන් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට මෙම පනත් කෙටුම්පත සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇති කළ හැකි බව පවසන එම සාමූහිකය, නීතිමය දඬුවම් පිළිබඳ බිය හේතුවෙන් “ස්වයං වාරණය” (Self-Censorship) වර්ධනය වීමේ අවදානමක් ද පවතින බව අවධාරණය කරයි.
ඒ අනුව, යෝජිත පනත් කෙටුම්පත වහාම හකුලා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින එම සාමූහිකය, මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන් සහ පුරවැසියන් එකමුතුව කටයුතු කළ යුතු බවද අවධාරණය කර ඇත.
එම නිවේදනය පහතින්
CHARTERED Media June 2026 – Sinhala
