
ඉරානය තම ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඇමරිකානු RQ-4 වර්ගයේ ඩ්‍රෝන් යානයක් සහ F-35 ප්‍රහාරක ජෙට් යානයකට වෙඩි තැබූ බව ප්‍රකාශ කර තිබේ.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය විසින් මෙම ප්‍රකාශය නිකුත් කර ඇති බවයි. කෙසේ වෙතත්, එම සිදුවීම් සිදුවූ නිශ්චිත කාලය සම්බන්ධයෙන් පැහැදිලි සඳහනක් එම ප්‍රකාශයේ ඇතුළත් වී නොමැත.
ඉරාන ආරක්ෂක බළකාය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකරනු ලබන ඕනෑම සටන්විරාම උල්ලංඝනයකට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන්ට නීත්‍යානුකූල අයිතියක් පවතින බවයි.
මේ අතර, ඉරානයේ උත්තරීතර නායකයා ලෙස සැලකෙන මොජ්තාබා කමේනි ප්‍රකාශ කර ඇත්තේ, මැදපෙරදිග කලාපයේ ඇමරිකානු හමුදා කඳවුරු සඳහා ආරක්ෂිත තත්ත්වයක් තවදුරටත් නොපවතින බවයි. ලෙබනනය ඇතුළු “ප්‍රතිරෝධයේ අක්ෂය” ලැබූ ජයග්‍රහණ පිළිබඳ සඳහන් කළ ඔහු, ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට “හොඳ පාඩමක්” උගන්වා ඇති බවද ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශ නිකුත් වී ඇත්තේ, ඇමරිකාව විසින් දකුණු ඉරානයේ මිසයිල මධ්‍යස්ථාන සහ මුහුදු බෝම්බ ස්ථානගත කිරීමට යොදාගත් බවට සැක කෙරෙන බෝට්ටු ඉලක්ක කර ස්වයං-ආරක්ෂක ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් අනතුරුවය.
අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය ප්‍රකාශක ටිම් හෝකින්ස් සඳහන් කළේ, ඉරාන හමුදාවන්ගෙන් එල්ල වන තර්ජනවලින් ඇමරිකානු භට පිරිස් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ප්‍රහාර දියත් කළ බවයි.
කෙසේ වෙතත්, එම ප්‍රහාරවල සවිස්තරාත්මක තොරතුරු අනාවරණය නොකළ CENTCOM සඳහන් කළේ, මිසයිල දියත් කිරීමේ ස්ථාන සහ මුහුදු බෝම්බ තැන්පත් කිරීමට යොදාගත් බව කියන බෝට්ටු පමණක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.
The New York Times වාර්තා කළේ, හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි බන්ඩර් අබ්බාස් ප්‍රදේශය ආසන්නයට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි. එම ප්‍රදේශයෙන් පිපිරුම් හඬ ඇසුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද වාර්තා කර තිබුණි.
මේ අතර, මාර්කෝ රූබියෝ සඳහන් කර ඇත්තේ, ඉරානය සහ ඇමරිකාව අතර තවමත් සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවයකට පැමිණීමේ හැකියාව පවතින බවයි.
එමෙන්ම, ඉරාන විදේශ අමාත්‍යවරයා සහ කටාර් අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාද ඉදිරි කාලය තුළ ගැටුම් අවම කිරීම සඳහා වැදගත් විය හැකි බව විදේශ විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
