
දිනකට පෙර පැවිදි වූ 9 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බවට වරදකරු කෙරුණු හම්බේගමුවේ චන්දානන්ද හිමිනමට අනුරාධපුර මහාධිකරණය විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවම සහ දඩ මුදල අභියාචනාධිකරණය විසින් ස්ථිර කර තිබේ.
අදාළ හිමිනම තමන්ට නියම කර ඇති දඬුවම අවලංගු කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනයක් ගොනු කර තිබූ අතර, එය ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.
අභියාචනාධිකරණ විනිසුරු පී. කුමරන් රත්නම් විසින්, විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, මහාධිකරණ විනිසුරුවරයා ඉදිරිපත් වූ සාක්ෂි නිවැරදිව විශ්ලේෂණය කර විත්තිකරු වරදකරු කර ඇති බවයි.
2016 මැයි 06 සිට 21 දක්වා කාලසීමාව තුළ මෙම අපයෝජනය සිදුව ඇති බවට නීතිපතිවරයා අනුරාධපුර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබූ අතර, වින්දිත සාමණේර හිමිනම එවකට 9 හැවිරිදි වියේ පසුවූ බව අධිකරණයේදී අනාවරණය වී තිබිණි. එම බාල හිමිනම පැවිදි වී පසු දිනම මෙම අපයෝජනයට ලක්ව ඇති බව ද තීන්දුවේ සඳහන් විය.
අපයෝජනයට ලක්වූ බව බාල හිමිනම සිය මවට පවසා ඇති අතර, පසුව මව විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකදී ද ලිංගික අපයෝජනයක් සිදුවී ඇති බව බැහැර කළ නොහැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරියා සඳහන් කර තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2024 දෙසැම්බර් 17 වන දා අනුරාධපුර මහාධිකරණය විත්තිකරු වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවමක්, රුපියල් 5000ක දඩයක් සහ වින්දිත හිමිනමට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබුණි.
අභියාචනා විභාගයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, වින්දිතයාගේ සාක්ෂි සහ වෛද්‍ය සාක්ෂි අතර පරස්පරතා පවතින බව පෙන්වා දුන්න ද, අභියාචනාධිකරණය එම තර්ක ප්‍රතික්ෂේප කළේ ය.
වින්දිත හිමිනම විමර්ශකයන්ට ලබා දුන් වීඩියෝ ප්‍රකාශය නීත්‍යනුකූලව පිළිගත හැකි බවත්, සාක්ෂිවල සුළු දුර්වලතා තිබුණ ද සමස්ත සාක්ෂි පද්ධතිය මත විත්තිකරුගේ වරද සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවත් විනිසුරු මඩුල්ල තීන්දු කළේ ය.
ඒ අනුව, විත්තිකරු විසින් ගොනු කළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින්, මහාධිකරණය නියම කළ දඬුවම 2024 දෙසැම්බර් 17 වන දා සිට ක්‍රියාත්මක වන බවට අභියාචනාධිකරණය නියෝග කළේ ය.
