පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ සිසුන් ස්ත්‍රී–පුරුෂ භාවය ඇතුළු ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැර හා ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම විශ්වවිද්‍යාලයට සහ එහි පාලක සභාවට උපදෙස් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව ආචාර්ය ඩබ්ලිව්.ඒ.එම්. උදාරි එල්. අබේසිංහ විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මෙම තීන්දුව මැයි 08 වන දා ලබා දී තිබේ.
පෙත්සම්කාරිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පරිවාස කථිකාචාර්යවරියක සහ M.Phil. අධ්‍යයන ශිෂ්‍යාවක ලෙස කටයුතු කළ සමයේ, ඇයගේ අධ්‍යයන අධීක්ෂකවරයා වූ මහාචාර්ය W.M. තිලකරත්න විසින් 2017 ජූලි සිට 2018 අප්‍රේල් දක්වා කාලය තුළ ලිංගික හා මානසික හිරිහැර සිදු කළ බවට චෝදනා එල්ල වී තිබිණි. එම චෝදනා අතර, අකමැත්තෙන් වැළඳ ගැනීම, ශාරීරික ස්පර්ශ, පෞද්ගලික අවකාශ උල්ලංඝනය, දුරකථන මඟින් සයිබර් ස්ටෝකින්,මානසික බලපෑම්, විශ්වවිද්‍යාල විනය රෙගුලාසි උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් ඇතුළත් විය.
2018 වසරේදී පෙත්සම්කාරියගේ මව විසින් උපකුලපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු, විශ්වවිද්‍යාලය විසින් විමර්ශන කමිටුවක් පත් කර තිබිණි. ඒ අනුව පැවැති විනය පරීක්ෂණයෙන්, මහාචාර්යවරයාට එරෙහි ලිංගික හිරිහැර සම්බන්ධ චෝදනා කිහිපයක් සනාථ වූ අතර ඇතැම් චෝදනා ප්‍රතික්ෂේප විණි. මෙහි වාර්තාව කමිටුව විසින් විශ්වවිද්‍යාල පාලක සභාව වෙත ඉදිරිපත් කර තිබුණද ඔවුන් විසින් 2020 මැයි 30 දී මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.
ඉන් අනතුරුව පෙත්සම්කාරිය විසින් මෙම තීරණයට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, පසුව ඇය 2021 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.
ඒ අනුව පෙත්සම්කාරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන පහත වගන්තිවල සඳහන් මූලික අයිතිවාසිකම් ඇයගේ කඩ වී ඇති බව සඳහන් කර තිබුණි. ඒ අනුව,
– 11 වන ව්‍යවස්ථාව: කෘෘර අමානුෂික සහ අවමන්සහගත සැළකිලිවලින් මිදීමට තියෙන අයිතිය
– 12(1) වන ව්‍යවස්ථාව: නීතිය ඉදිරියේ සමානව සැළකීමක් ලැබීමට තිබෙන අයිතිය
– 12(2) වන ව්‍යවස්ථාව: වෙනස්කොට සැළකීමෙන් මිදීමේ අයිතිය
එමෙන්ම ඇය මේ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන්, විශ්ව විද්‍යාල කවුන්සිලයේ තීරණය අවලංගු කරවීම, විනය කමිටුවේ තීරණය පිළිගන්නා ලෙස කවුන්සිලයට නියෝග කරවීම, අදාල මහාචාර්යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නියෝග කරවීම, ලිංගික හිරිහැර පිළිබඳව විශ්ව විද්‍යාල මට්ටමෙන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අධිකරණ මඟපෙන්වීමක් ලබාදීම, ඊට අදාල වාර්ෂික සමුළුවක් ක්‍රියාත්මක කිරීම, වන්දි ලබාගැනීම යන සහන බලාපොරොත්තු විණි.
මෙම නඩුවේ විශේෂත්වය වන්නේ, මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ යුතු නියමිත මාසයක කාලසීමාව ඉක්මවා තිබියදීත්, ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව සලකා බැලීමට තීරණය කිරීමයි. වගඋත්තරකරුවන් විසින් නඩුව කාලාවරෝධී බව තර්ක කළද, විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කර ඇත්තේ, “හුදු තාක්ෂණික කාරණා මත රාජ්‍ය ආයතනවල වගකීම් මඟහැරීමට ඉඩදිය නොහැකි” බවයි. එමෙන්ම එහිදී අන්තර්ජාතික නීතියේ එන CEDAW සම්මුතියත් අධිකරණය විසින් අදාල කරගෙන ඇත.
එනම්, Convention on the Elimination of All Forms of Discrimination Against Women හෙවත්, කාන්තාවන්ට එරෙහි සෑම අකාරයකම වෙනස්කම් පිටුදැකීම වෙනුවෙන් වූ සම්මුතිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(උ) වගන්තිය අනුව, ඕනෑ ම පුරවැසියෙකුට කැමති රැකියාවක නිරත වීමට මූලික අයිතිය තිබෙන බවත්, ස්ත්‍රී–පුරුෂ භේදයකින් තොරව එම අයිතිය භුක්ති විඳිය හැකි බවත් විනිසුරුවරයා පෙන්වා දී ඇත. එම අයිතිය භුක්ති විඳිමේදී ලිංගික හිංසනයන්ට භාජනය නොවී සිටීමට පරිසරයක් තිබිය යුතු බවත් විනිසුරුවරයා පැවසුවේ ය.
ඒ අනුව විනිසුරුවරයා විසින් තීන්දුව නිකුත් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය මහාචාර්ය W.M. තිලකරත්නට කිසිදු විශ්වවිද්‍යාලයක හෝ අධ්‍යාපන ආයතනයක තනතුරක් දැරීම තහනම් කර ඇති අතර, එවැනි පත්වීම් ලබාදීමෙන් වැළකී සිටින ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සහ සියලුම විශ්වවිද්‍යාල වෙත ද උපදෙස් ලබාදී තිබේ.ඒ අනුව, පළමු වගඋත්තරකාරු වන මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්නට ඕනෑ ම විශ්වවිද්‍යාලයක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක වැටුප් සහිත හෝ වැටුප් රහිත, නිල හෝ ගෞරවනීය තනතුරක් පිළිගැනීම තහනම් කරන ලෙස අධිකරණය උපදෙස් නිකුත් කර තිබේ.
එමෙන්ම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ලිංගික හිරිහැර වැළැක්වීම සඳහා නිසි ප්‍රතිපත්ති සකස් කිරීම, කාර්ය මණ්ඩලය සහ සිසුන් දැනුවත් කිරීම, සහ එම ක්‍රියාමාර්ග වාර්ෂිකව සමාලෝචනය කිරීම සඳහා ද නියෝග නිකුත් කර ඇත.
