විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකමතිකව තහවුරු කරයි


2015 වසරේ මුළු ශ්‍රී ලංකාවම කම්පා කළ යාපනය පුන්කුඩිතීවු ප්‍රදේශයේ පදිංචි සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ අපයෝජනයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වූ “ස්විස් කුමාර” ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට මහාධිකරණය නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව තහවුරු කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ, විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා සලකා බැලීමෙන් අනතුරුවය.

විත්තිකරුවන් මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනා ඉදිරිපත් කර තිබුණි. එහෙත්, මහාධිකරණය ලබාදුන් තීන්දුව සාධාරණ බවත්, විද්‍යාත්මක සහ වාචික සාක්ෂි මගින් ඔවුන්ගේ වරද සැකයකින් තොරව ඔප්පු වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළේය.

මෙම අපරාධයේ බිහිසුණු ස්වභාවය සහ එය සමස්ත සමාජය කෙරෙහි ඇති කළ දැඩි බලපෑම සලකා බැලීමේදී, මහාධිකරණය නියම කළ දඬුවම් වෙනස් කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර තිබේ.

“ස්විස් කුමාර” හෙවත් මහලිංගම් ශෂිකුමාර ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව ලබාදී තිබූ මරණ දඬුවම් සහ අනෙකුත් සිර දඬුවම් මෙලෙස තහවුරු කර ඇති අතර, තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් වූ සාක්ෂි ප්‍රමාණවත් නොවන බව සලකා ඔවුන්ට ලබාදී තිබූ දඬුවම් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

2015 මැයි 13 වැනිදා පාසල් යමින් සිටි 18 හැවිරිදි විද්‍යා දැරිය පැහැරගෙන ගොස් අත්පා බැඳ අතිශය අමානුෂික ලෙස සමූහ අපයෝජනයකට ලක් කර ඝාතනය කර තිබුණි. එම සිද්ධිය රට පුරා දැඩි ජනතා විරෝධයක් සහ කම්පනයක් ඇති කළ අතර, කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ විශාල සමාජ සංවාදයක් ද මතුවිය.
මෙම නඩුව යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණු අතර, 2017 සැප්තැම්බර් 27 වැනිදා අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහලිංගම් ශෂිකුමාර නොහොත් “ස්විස් කුමාර” ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර තිබුණි.

 

Social Sharing
නවතම පුවත්