
සමාජ මාධ්‍ය කණ්ඩායම් විසින් මාධ්‍යවේදී ඩිල්කා සමන්මලී මහත්මිය ඉලක්ක කරගෙන සිදුකරනු ලබන අසභ්‍ය වාචික අපහාස සහ හිරිහැර කිරීම සම්බන්ධයෙන් “ප්රජාතන්ත්රවාදය උදෙසා සමාජ ජනමාධ්‍යවේදීන්” සංවිධානය දැඩි විරෝධය පළ කර ඇත.
එම සංවිධානයේ අධ්යක්ෂ මලිති හේවාවසම් මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව සඳහන් කර තිබේ.
එම නිවේදනය අනුව, සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ ඩිල්කා සමන්මලී මාධ්‍යවේදීනිය ඉලක්ක කරගෙන සිදුකරනු ලබන අසභ්‍ය වාචික අපහාස සහ සංවිධානාත්මක හිරිහැර කිරීම ඇයට ගැඹුරු මානසික හානියක් සිදු කළ හැකි අතර, සමාජය තුළ පවත්වා ගත යුතු ගරුකිරීම, මානව ගෞරවය සහ වගකීම් සහිත ඩිජිටල් සම්බන්ධතා අගයන් බිඳ දමන ක්‍රියාවක් ලෙස එය හඳුන්වා දී ඇත.
සමාජ මාධ්‍ය වේදිකා අදහස් ප්‍රකාශ කිරීම සහ සදාචාරාත්මක සංවාදය සඳහා භාවිතා කළ යුතු අතර, බිය ගැන්වීම්, පුද්ගලික අපහාස හෝ සංවිධානාත්මක හිරිහැර සඳහා භාවිතා කළ යුතු ස්ථානයක් නොවන බව ද එම නිවේදනයේ අවධාරණය කර ඇත.
මෙවැනි ඉලක්කගත ක්‍රියාවන් සයිබර් හිරිහැර සහ ඩිජිටල් වේදිකා අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ ගැඹුරු ගැටලු මතු කරන අතර, විශේෂයෙන් කාන්තාවන්ගේ ආරක්ෂාව හා මානසික සෞඛ්‍යයට එමඟින් ඇති විය හැකි බලපෑම් පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.
තවද, සමාජ මාධ්‍ය භාවිතාකරුවන් සිය අන්තර්ජාල හැසිරීම්වලදී වගකීම් සහිතව හා කරුණාවෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, විවේචනයක් පවා කිසිවිටෙක පුද්ගලික අපහාස හෝ අපරාධාත්මක හැසිරීම්වලට මාරු නොවිය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, මෙවැනි ක්‍රියාවන් සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ඉක්මන් හා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමාජ මාධ්‍ය වේදිකා සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින් පීඩිතයන් ආරක්ෂා කර සහාය ලබාදීම අත්‍යවශ්‍ය බවද එම සංවිධානය අවධාරණය කර ඇත.
අන්තර්ජාලයේ සහ භෞතික ලෝකයේ සිදු වන සියලුම හිරිහැර සහ අපහාසවලට එරෙහිව සමාජය එකමුතු විය යුතු බවත්, ගෞරවය, සමානාත්මතාව සහ ආරක්ෂාව පදනම් කරගත් සමාජයක් ගොඩනඟා ගැනීමට සිය කැපවීම නැවතත් තහවුරු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
