රවිරාජ් ඝාතන නඩුවේ නිදොස් තීන්දුව අවලංගු කර අලුත් නඩු විභාගයක් පවත්වන්න අභියාචනාධිකරණයෙන් නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ පොලිස් කොස්තාපල් ලොකුවැල්ලමුරගේ ලක්ෂ්මන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදහස් කරමින් 2016 වසරේ කොළඹ මහාධිකරණයේ විශේෂ ජූරි සභාව ලබාදුන් තීන්දුව අභියාචනාධිකරණය විසින් ඊයේ දින  (26) අවලංගු කළේය.

එමෙන්ම, මෙම නඩුව සම්බන්ධයෙන් අලුතින් නඩු විභාගයක් (Retrial) කොළඹ මහාධිකරණය ඉදිරියේ පවත්වන ලෙසද අභියාචනාධිකරණය නියෝග කර ඇත.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් වන බී. සසි මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන විනිසුරුවන් විසිනි.

2016 වසරේදී කොළඹ මහාධිකරණය මගින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීරණයට එළැඹ තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන තර්කය වූයේ, නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූ ප්‍රීති විරාජ් (PW1) නමැති අපරාධ සහායකයාගේ (accomplice) සාක්ෂිය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා විසින් ජූරි සභාව නිසි ලෙස මෙහෙයවා නොමැති බවයි.

මෙම නඩුවේ “ප්‍රීති විරාජ්” යන නමින් හඳුන්වා ඇත්තේ මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන සම්පත් මනම්පේරි නමැති පුද්ගලයා බවද අධිකරණයේදී අනාවරණය වී ඇත.

අභියාචනාධිකරණය පෙන්වා දුන්නේ, අපරාධ සහායකයකුගේ සාක්ෂියක් ස්වාධීන සාක්ෂි මගින් තහවුරු නොවන්නේ නම් එය විශ්වාස කිරීමේදී ඇති විය හැකි අවදානම් පිළිබඳව ජූරි සභාවට නිසි උපදෙස් ලබාදීමට මහාධිකරණ විනිසුරුවරයා අපොහොසත් වී ඇති බවයි.

එමෙන්ම, සාක්ෂි ආඥාපනතේ 133 සහ 114(ආ) වගන්ති ප්‍රකාරව අපරාධ සහායකයකුගේ සාක්ෂියක විශ්වසනීයත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද අභියාචනාධිකරණය අවධාරණය කළේය.

මෙම නඩුවේදී ජූරි සභාවට අවසන් උපදෙස් ලබාදීම රාත්‍රී 8.50ට ආරම්භ කර ඇති අතර, ජූරි සභාව සිය තීන්දුව ලබාදී ඇත්තේ අලුයම 12.50ට බවද අනාවරණය වී ඇත. මෙම තත්ත්වය අතිශය අසාමාන්‍ය බවද අභියාචනාධිකරණය නිරීක්ෂණය කර ඇත.

2006 නොවැම්බර් 10 වන දින නාරාහේන්පිට ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් වෙඩිතබා ඝාතනය කර තිබිණි. එම සිද්ධියෙන් ඔහු සමඟ ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල් ලොකුවැල්ලමුරගේ ලක්ෂ්මන් ද ජීවිතක්ෂයට පත්විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර, පවතින සාක්ෂි අනුව විත්තිකරුවන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු පවතින බව අභියාචනාධිකරණය නිගමනය කළේය.

ඒ අනුව, කොළඹ මහාධිකරණය මගින් පෙර ලබාදුන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය පසෙක තබමින්, විත්තිකරුවන්ට එරෙහිව අලුතින් නඩු විභාගයක් ආරම්භ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.

Social Sharing
නවතම පුවත්