ලංවිම කෝටි 3,874ක් පාඩු ලබයි!

2025 වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 38,740ක (කෝටි 3,874ක) අලාභයක් වාර්තා කර තිබේ. අවසන් කාර්තුවේ අලාභය පමණක් රුපියල් මිලියන 29,160ක්. 2024 වසර තුළ ලංවිම විසින් රුපියල් මිලියන 141,605ක ලාභයක් වාර්තා කර ඇත.

අනෙකුත් පිරිවැය අඩු කරන්නට පෙරම රුපියල් මිලියන 26,163ක මෙහෙයුම් අලාභයක් වාර්තා වී ඇති තිබෙන්නේ පෙර වසරේදී ලංවිම විසින් රුපියල් මිලියන 109,910ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි. මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබේ.

මේ වසරේ අලාභය එකතු වීමෙන් පසුව ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 462,541 දක්වා ඉහළ ගොස් තිබේ.

ලංවිම විසින් පසුගිය වසර ඇතුළත මෙවැනි පාඩුවක් වාර්තා කර තිබෙන්නේ මෑතකදී සිදුව ඇති ගල් අඟුරු ගණුදෙනුවේ පාඩුව එකතු වීමට පෙරයි. එම ගණුදෙනුවේ පාඩුවේ බලපෑම මෙන්ම, ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමේ ඉඩකඩද නිසා මෙම වසරේ ලංවිම පිරිවැය තවත් ඉහළ යා හැකි බව පැහැදිලියි. ඒ අනුව, මෙම වසර තුළ සැලකිය යුතු විදුලි ගාස්තු ඉහළ යාමක් සිදු නොවන්නේනම්, ලංවිම අලාභ තවත් ඉහළ යාම නොවැලැක්විය හැකියි.

Social Sharing
නවතම පුවත්